The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවල අසලදී ක්‍රිෂාන්ති කුමාරස්වාමි අනුස්මරණයක්

T

The Leader Desk

September 9, 2025 • 3:38 PM

චෙම්මනි සමූහ මිනීවල අසලදී ක්‍රිෂාන්ති කුමාරස්වාමි අනුස්මරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමෙන් තොරව ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් සිසුවිය ඇතුළු ඝාතනවලට ගොදුරු වුවන්ට යුක්තිය දිනා ගත නොහැකි බව උතුරේ දෙමළ ජනතා නියෝජිතයකු අවධාරණය කර තිබේ.
  • "මෙම ස්ථානයේ ස්ථානගත කර සිටි චන්ද්‍රිකා රජයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් ක්‍රිෂාන්ති කුමාරස්වාමි නවතා, අමානුෂික ලෙස දුෂණය කර වධ හිංසාවට ලක්කර මරා දැම්මා .
  • එයාව සොයමින් ගිය ඥාතීන් සහ මේ ස්ථානයේ වළලනු ලැබූ අය ඇතුළු දෙමළ දේශයේ ඝාතනයට ලක් වුවන්ට යුක්තිය නොලැබුන අවස්ථාවක තමයි අපි මේ අනුස්මරණය කරන්නේ.
  • මේ සිත්තුපාත්තියේ ඇටසැකිලි 240 ක් සොයාගෙන තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමෙන් තොරව ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් සිසුවිය ඇතුළු ඝාතනවලට ගොදුරු වුවන්ට යුක්තිය දිනා ගත නොහැකි බව උතුරේ දෙමළ ජනතා නියෝජිතයකු අවධාරණය කර තිබේ.

"මෙම ස්ථානයේ ස්ථානගත කර සිටි චන්ද්‍රිකා රජයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් ක්‍රිෂාන්ති කුමාරස්වාමි නවතා, අමානුෂික ලෙස දුෂණය  කර වධ හිංසාවට ලක්කර මරා දැම්මා . එයාව සොයමින් ගිය ඥාතීන් සහ මේ ස්ථානයේ  වළලනු ලැබූ අය ඇතුළු දෙමළ  දේශයේ ඝාතනයට ලක් වුවන්ට යුක්තිය නොලැබුන අවස්ථාවක තමයි අපි මේ අනුස්මරණය කරන්නේ. මේ සිත්තුපාත්තියේ ඇටසැකිලි 240 ක් සොයාගෙන තියනවා. මෙයින් පෙනී යන්නේ මෙය දැවැන්ත වර්ග සංහාරයේ සාක්ෂි බව  තමයි. මෙම සාක්ෂි සමඟ ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළොත් විතරයි මේ ඝාතන වලට යුක්තය ලබා ගන්න පුළුවන්. "

දෙමළ ජාතික ජනතා පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් ඒ බව සදහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විසි නම වසරකට ඉහතදී අපයෝජනය කර මරා දමන ලද සිසු දැරියක් ඇතුළු පිරිස සිහිපත් කොට යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී පැවැති අනුස්මරණයට එක්වෙමිනි.

උතුරු නැගෙනහිර අනුස්මරණ කමිටුව විසින් සැප්තැම්බර් 7 වැනිදා සංවිධානය කර තිබු එම අනුස්මරණයට ක්‍රිෂාන්ති කුමාරස්වාගේ පවුළේ ඥාතියකු, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, දේශපාලනඥයන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

‘එළුනා’ කලා හා සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංගෘහිත ‘වාසලිලේ ක්‍රිෂාන්ති’ (வாசலிலே கிருசாந்தி) චෙම්මනිය ආශ්‍රිත කවි එකතුවද ඒ අවස්ථාවේ එලි දක්වා තිබේ.


අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් නම් කොට ඇති සමුහ මිනීවළේ වලදමා ඇති පුද්ගලයන් නඩු නොමැතිව සිදුකරන ලද ඝාතනවලට ගොදුරු වුවන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශ්වාසය පළකරයි. ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව ද චෙම්මනි සමුහ මිනීවලේ විමර්ශන ප්‍රතිපල සම්බන්ධයෙන් ‘බැඳියාවක් ඇති පක්ෂ’ ලෙසින් මානව හිමිකම් කොමිසම පිටු 13කින් සමන්විත සිය වාර්තාවෙන් හඳුන්වා දී තිබේ.



ක්‍රිෂාන්ති කුමාරස්වාමි

චුන්ඩිකුලි මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි 1996 ඔක්තෝම්බර් 6 වැනිදා උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත ගෙදර යමින් සිටිය දී චෙම්මනි මුරපොලේ සිටී හමුදා සෙබළුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සාමුහික දුෂණයකට ලක් කොට මරා වළ  දමා තිබිණි.

ඈගේ ප්‍රමාදය නිසා කලබල වූ ඇගේ මව වූ රාසම්මා කුමාරස්වාමි සහ ප්‍රණවන් කුමාරස්වාමි පවුලේ හිතවතකු වූ සිදම්බරම් කිරුබමූර්ති සමඟ ඇය සොයා  චෙම්මනි මුරපොල වෙත ගොස් විමසා තිබේ.

ක්‍රිෂාන්ති ගැන කිසිදු තොරතුරක් තමන් නොදන්නා බව පැවසූ මුරපොලේ සෙබළු  ඔවුන් තිදෙනා බංකරයක් තුළට ගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ඇත. එදින රාත්‍රියේදී හමුදා සෙබළුන් විසින් ප්‍රණවන් සහ කිරුබමූර්ති කඹයකින් ගෙල සිරකර මරා දමා සිරුරු දෙක ආරක්ෂක මුරපොල පිටුපස වළ දැමූ අතර ඔවුන්ගේ ඇඳුම් වෙනම වළලා තිබේ. රාසම්මා ද ඒ ආකාරයෙන්ම  ඝාතනය කළ මේ හමුදා සෙබළු  මුරපොල පිටුපස ඇගේ සිරුර වළ දැමූහ.

 

ක්‍රිෂාන්ති කුමාරස්වාමි සාමුහික දුෂණය කර මරා දමා ඇති බවට රජයේ හමුදා වෙත එල්ලවූ චෝදනා ගැන පරීක්ෂණ පැවැත්වීමට එවක පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම් එල්ලවිය.

ඉන් ටික කලකට පසු අතුරුදහන් වූ සිවිල් වැසියන් සිව්දෙනකු සම්බන්ධයෙන් යුද හමුදා බලධාරීන්ට ලැබුණු නිර්නාමික පෙත්සමක් ඔස්සේ කරන ලද පරීක්ෂණයක් අනුව  චෙම්මනි හමුදා  මුරපොල වෙත අනුයුක්ත කර සිටී හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කෙරිණි. ඒ අනුව, දිරාපත් වූ සිරුරු හතරක් සහ ඇඳුම් ආයිත්තම් සොයා ගත්තේ  චෙම්මනි හමුදා  මුරපොල අසල  වල දමා තිබියදීය.

හමුදා සෙබළුන් 9 දෙනකුට විරුද්ධව චෝදනා 18කින් යුක්ත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව  මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නඩුව විභාග කරමින් විත්තිකරුවන්ගේ පාපොච්චාරණය ඔස්සේ සොයාගත් සාක්ෂි මෙන්ම අනෙකුත් වාචික සාක්ෂි මත තීන්දුව ලබා දෙන ලදී.

ඉන් අපරාධ චෝදනා ඔප්පු වූ රාජපක්ෂ දේවගේ සෝමරත්න රාජපක්ෂ, ජේ එම් ජයසිංහ, ජී පී ප්‍රියදර්ශන හා ඒ එස් ප්‍රියශාන්ත පෙරේරා යන හමුදා සෙබළුන් 5 දෙනාට මරණ දඩුවම නියම විය. තවත් චූදිත හමුදා සෙබළු තුන් දෙනකුට විසි පස් වසරක සිර දඩුවම් නියම විය. තවත් විත්තිකාර හමුදා සෙබළු 4 දෙනකු නිදොස් කොට නිදහස් කෙරිණි.

මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් චූදිතයන් වෙනුවෙන්  ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය සහ අධිනීතිඥ රංජිත් ප්‍රනාන්දු ප්‍රධානව තවත් අධිනීතිඥවරුන් කිහිප දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කළද, එය විභාග කළ  එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි බණඩාරණායක ප්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල අභියාචනය නිශ්ප්‍රභ කරමින් තීරණය කළේ මහාධිකරණයේ තීන්දුව ඒ ලෙසම ක්‍රියාත්මක කළ යුතු බවයි.


චෙම්මනි සමූහ මිනී වල
ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ සිය සාක්ෂියේ දී කියා සිටියේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි වල දැමු පළාතේ තවත් සිරුරු හාර පන්සියයක් පසට යට කොට ඇති බවයි.
 
චෙම්මනි හි සමූහ මිනීවළවල් කණින ලද අවස්ථාවේ පංච පුද්ගල කමිටුවක් විසින් ආරක්ෂක හමුදාවේ  15 දෙනකු වගකිව යුත්තන් ලෙස හඳුනා ගන්නා ලද අතර යුද හමුදා නිලධාරීන් හතර දෙනකු අත් අඩංගුවට ගන්නා  ලදී. එහෙත් කමිටු වාර්තාව කිසිදාක ප‍්‍රසිද්ධියට පත් කෙරුනේ නැත. ඒ වෙනුවට සිද්ධ වූයේ නීතිපති කාර්යාලයේ එවක ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයා වූ මොහාන් පීරිස්ගේ අණින් 2000 ජූලියේදී සැකකරුවන් ඇප පිට නිදහස ලැබීමයි.

හතර දෙනාටම පසු කලෙක උසස්වීම් දෙන ලදී. පසුව නීතිපති පදවියට උසස් කරන ලද ජනාධිපති නීතිඥ පීරිස් ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා නැගෙන යුද්ධය සමයේ රජයේ ප්‍රධාන නීති උපදේශකයා ය. අගවිනිසුරු ධුරයෙන් මතබේදාත්මක ලෙස දෝෂාභියෝගයකින් පහකරනු ලැබූ ශිරානි බණ්ඩාරනායක වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2013 දී එම පදවියට පත් කරන ලද්දේ මොහාන් පීරිස්ය. අද ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  නිව් යෝර්ක් නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාය.
 
යාපනය මයිලිඩ්ඩි ධිවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කිරීම වෙනුවෙන් යාපනයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 සැප්තැම්බර් 1 වැනිදා පවසා තිබුනේ චෙම්මනි සමුහ සුසානය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.


"දැනුත් ආන්දෝලනයට තුඩුදී තිබෙනවා චෙම්මනි මිනි වළ. අපි ඒ පිළිබද විධිමත් විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. අපිට සඟවන්න කිසි දෙයක් නැ. හැබැයි අපි ඒවා පිළිබඳව විමර්ශනය කරන්නේ කුමක් වෙනුවෙන්ද? අනාගතයේ යලි එවැනි තත්වයක් ඇතිවීම වළක්වාගැනීම වෙනුවෙන්. "

එම ප්‍රකාශයට පසුවදා ජනාධිපතිවරයා  ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම චෙම්මනි සමූහ මිනීවළ ඉදිරිපිටින් නොනැවති රථයෙන්  ගමන් ගන්නා ආකාරය පළාත් බද මාධ්‍යවේදීන් විඩියෝ ගත කර තිබුනි.
 fgtrt33e
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...