‘තිරස් සහ ප්‍රමුඛතා’ කුලුනු: ලංකාව දැනුම පදනම් කරගත් කේන්ද්‍රස්ථානයක් කිරීමේ සූදානම
300කගේ දායකත්වය සහ 2030 වන විට ඩොලර් බිලියන 36ක දැවැන්ත ඉලක්කය
ලංකාවේ ආර්ථිකය ඊළඟ වසර පහ ඇතුළත ගමන් කළ යුතු නිශ්චිත මඟ සලකුණු ඇතුළත් 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දී තිබේ.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙය හුදෙක් තවත් එක් ලියවිල්ලක් පමණක් නොව, 2025 අයවැය මඟින් ප්‍රකාශිත රජයේ ප්‍රතිපත්තිමය දැක්ම ප්‍රායෝගික තලයකට ගෙන එන ප්‍රධානතම ජාතික වැඩසටහනකි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මෙහි නායකත්වය ගෙන ඇති අතර ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහායද මීට ලැබී ඇත. පසුගිය මැයි 4 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ මෙම උපායමාර්ගය, මෙරට ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වය උදෙසා තැබූ තීරණාත්මක පියවරකි.
‘තිරස් සහ ප්‍රමුඛතා’ කුලුනු: ලංකාව දැනුම පදනම් කරගත් කේන්ද්‍රස්ථානයක් කිරීමේ සූදානම
රජයේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්මට පණ දෙන මෙම සැලැස්ම ප්‍රධාන කුලුනු දෙකක් මත ගොඩනැඟී ඇත. ඒ 'තිරස් අංශ' (Horizontals) සහ 'ප්‍රමුඛතා අංශ' (Verticals) වශයෙනි.
තිරස් අංශ (Horizontals): මෙයට වෙළෙඳ සැපයුම් (Logistics), වෙළෙඳ පහසුකම් සැලසීම, මූල්‍ය ප්‍රතිසංස්කරණ, ගුණාත්මක කළමනාකරණය මෙන්ම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) නිපුණතා සංවර්ධනය ඇතුළත් වේ.
ප්‍රමුඛතා අංශ (Verticals):
ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළේ ඉහළින්ම ස්ථානගත කිරීම සඳහා මෝටර් රථ උපාංග, ඛනිජ, රබර්, සමුද්‍රීය කර්මාන්ත (බෝට්ටු/නැව් තැනීම), කුළුබඩු, ඩිජිටල් නිෂ්පාදන, විදුලි උපකරණ සහ සැකසූ ආහාරපාන යන ප්‍රමුඛ අංශ 8ක් හඳුනාගෙන තිබේ. මෙහි මූලිකම අරමුණ ලංකාව කලාපීය දැනුම පදනම් කරගත් අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි.
300කගේ දායකත්වය සහ 2030 වන විට ඩොලර් බිලියන 36ක දැවැන්ත ඉලක්කය
මෙම සැලැස්මේ ඇති විශේෂත්වය වන්නේ මෙය හුදකලාව කාමරයක ඉඳන් ලියූ එකක් නොවීමයි. රාජ්‍ය, පෞද්ගලික, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් 300කට අධික පිරිසකගේ පුළුල් සහභාගිත්වයෙන්, පසුගිය වසරේ ඔක්තෝබර් සිට මේ වසරේ ජනවාරි දක්වා පැවැති වැඩමුළු හා සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙය නිමවා ඇත්තේ.
මෙම සාමූහික ප්‍රයත්නයේ අවසන් ඉලක්කය වන්නේ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් රටට අත්පත් කර දීමයි. ශක්තිමත් අධීක්ෂණ රාමුවක් යටතේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තබමින්, රටේ ආර්ථිකයේ නව පෙරගමන්කරු වීමට මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්මට පූර්ණ ශක්තිය පවතී.




