* “රාජ්‍ය දූෂණය රට බංකොලොත් වීමට හේතුවක්” - කොළඹ මහාධිකරණ විනිසුරු
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ දූෂණ නඩු හතරකට ඔහු වරදකරු කරමින් කොළඹ මහාධිකරණය අද (ජූනි 09) ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, එක් නඩුවකට වසර හතර බැගින් සමස්තයක් ලෙස වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් විත්තිකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට නියම විය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2006 ලොතරැයි මණ්ඩලයේ වාහන ‘ඩීල් එක’
මෙම නඩුවට පාදක වී ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙර, එනම් 2006 වසරේදී සරණ ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයයි. එම අවධියේදී ආයතනය සඳහා කුලී පදනම මත වාහන තුනක් ලබා ගැනීමේදී, එහි හිමිකරුවන්ට අනිසි වාසි සැලසෙන අයුරින් කටයුතු කරමින් රජයට බරපතළ ලෙස පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා සියල්ලම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව අවධාරණය කළේය.
රට බංකොලොත් කළ රාජ්‍ය දූෂණය
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් සිදුකළ ප්‍රකාශය වර්තමාන දේශපාලන හා සමාජයීය සන්දර්භය තුළද දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි.
"රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණය රටේ සමස්ත ආර්ථිකය කෙරෙහි දැඩි අගතිගාමී බලපෑමක් එල්ල කරනවා. රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම කෙරෙහි මෙවැනි දූෂිත ක්‍රියාවන් සෘජුවම බලපා තිබෙනවා." -මහාධිකරණ විනිසුරුවරයා
රාජ්‍ය ආයතන කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය මෙවැනි ක්‍රියා නිසා සහමුලින්ම බිඳ වැටෙන බවත් විනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ලිහිල් දඬුවම් ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වන වගන්තිය ප්‍රකාරව විත්තිකාර සරණ ගුණවර්ධන ට ලිහිල් දඬුවමක් පමුණුවන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, වරදෙහි ස්වභාවය සහ බරපතළකම සලකා බැලීමේදී, රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි මහා පරිමාණ දූෂණයන් ඉදිරියට අධෛර්යමත් වන ආකාරයේ දැඩි දඬුවමක් ලබාදීම අධිකරණයේ වගකීමක් වන බවයි.
රාජ්‍ය දේපළ අවභාවිත කරන දේශපාලනඥයින්ට සහ නිලධාරීන්ට මෙය පැහැදිලි පණිවිඩයක් වනු ඇතැයිද අධිකරණ ක්ෂේත්‍රයේ විචාරකයෝ පවසති.




