ව්‍යාපාර ප්‍රාග්ධන (Venture Capital) ප්‍රවර්ධනය සහ බදු සංශෝධන හරහා කලාපීය තාක්ෂණික මධ්‍යස්ථානයක් වීමේ අභියෝගය
ඩොලර් බිලියන 5ක ඉලක්කය සහ යෝජිත ප්‍රතිසංස්කරණ
2030 වසර වන විට ඩිජිටල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නංවමින් ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ උපායමාර්ගික මාර්ග සිතියම පිළිබඳ පුළුල් කථිකාවක් නිර්මාණය වී තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ශ්‍රී ලංකා ආයතනය සහ ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (IFC) එක්ව සංවිධානය කළ "The Road to US$5 Billion" ජාතික සංවාද මණ්ඩපයේදී මෙම වැඩපිළිවෙළ සවිස්තරාත්මකව සමාලෝචනය කෙරිණි.
කාලයක් තිස්සේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් විසින් ඉල්ලා සිටින ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් මෙම උපායමාර්ගික සැලැස්මට ඇතුළත් කර ඇත. ව්‍යාපාර ප්‍රාග්ධන සඳහා වන බදු සංශෝධන, විදේශීය අරමුදල් මගින් ක්‍රියාත්මක වන ආරම්භක ව්‍යාපාර සඳහා පවතින නීතිමය බාධා ඉවත් කිරීම, රජයේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ප්‍රතිසංස්කරණය කිරීම, පර්යේෂණ සහ සංවර්ධන (R&D) දිරිගැන්වීම් මෙන්ම කෘතිම බුද්ධිය (AI) වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත ආයතනික ව්‍යුහයන් ස්ථාපිත කිරීම ඒ අතර ප්‍රධාන වේ.
ව්‍යාපාර ප්‍රාග්ධනය සහ බදු සංශෝධන පිළිබඳ අවධානය
මෙරට නවෝත්පාදන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ දේශීය වශයෙන් ව්‍යාපාර ප්‍රාග්ධනය ලබා ගැනීමේදී පවතින අපහසුතාවයි. මේ හේතුවෙන් දේශීය ආරම්භක ව්‍යාපාර රැසකට සිය ව්‍යාපාරික ක්ෂේත්‍රයන් හැකිලීමට හෝ විදේශයන් වෙත සංක්‍රමණය වීමට සිදු වූ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වයට පිළියමක් ලෙස දේශීය සහ විදේශීය පුද්ගලික ආයෝජන ආකර්ෂණය කරගත හැකි ජාතික 'Fund of Funds' අරමුදල් රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර, ඊට අදාළ යෝජනාව ඉදිරි සති කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය පෙන්වා දුන්නේ, මීට පෙර පැවැති බදු ව්‍යුහයන්හි පැවැති සංකීර්ණතා හේතුවෙන් ව්‍යාපාර ප්‍රාග්ධන ආයෝජකයන් අධෛර්යමත් වූ බවයි. එම බදු බාධාවන් ඉවත් කරමින් කලාපීය තරඟකාරී රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ආයෝජන හිතකාමී පරිසරයක් බවට පත්කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.
මානව සම්පත සහ ආයතනික සූදානම
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ, මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත්තේ KPMG සහ ලෝක බැංකු සමූහයේ තාක්ෂණික උපදෙස් මත පදනම් වූ දත්ත විග්‍රහයන් ඇසුරින් බවයි. ගෝලීය වෙළඳපොළ ජයගත හැකි ඩිජිටල් නිෂ්පාදන සහ බුද්ධිමය දේපළ මත පදනම් වූ උසස් අපනයන පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
කෙසේ වෙතත්, ඩොලර් බිලියන 5ක ඉලක්කය කරා ගමන් කිරීමේදී ප්‍රාග්ධන සම්පාදනයට අමතරව උසස් තාක්ෂණික කුසලතාවලින් හෙබි මානව සම්පතක් ගොඩනැගීම, කෘතිම බුද්ධිය (AI) නිසා රැකියා වෙළඳපොළේ සිදුවන වෙනස්කම්වලට මුහුණදීම සහ ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය පවත්වාගෙන යාම තීරණාත්මක සාධකයක් වනු ඇත. යෝජිත ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාකාරී සැලැස්ම නිසි පරිදි කාලරාමුවකට අනුව ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් අපනයන ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇතිකිරීමට ඉඩකඩ පවතී
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Can Sri Lanka Deliver Its $5 Billion Digital Export Promise?




