රටම බංකොලොත් වී, ජනතාව වේලක් හැර වේලක් කමින් දැඩි ආර්ථික අර්බුදයකින් බැටකෑ 2022 වසරේදී, කොළඹ නගරයේ අන්ත අසරණ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් වෙන්කළ රුපියල් කෝටි 50කට ආසන්න මහජන මුදලක් වංචනික ලෙස සාක්කුවල දමාගැනීමේ මහා පරිමාණ දූෂණයක් පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතී.
කොළඹ මහ නගර සභාව (CMC) කේන්ද්‍ර කරගනිමින් සිදුව ඇතැයි පැවසෙන මෙම මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ‘කොළඹ මහ නගර සභාවේ දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව’ මඟින් මේ වනවිටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
2022 වසරේදී කොළඹ නගර සීමාවේ වසන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ එකහමාරකට ආසන්න සංඛ්‍යාවකට, සහන මුදලක් ලෙස රුපියල් 3,500 බැගින් බෙදාදුන් බව නගර සභා ලේඛනවල සටහන් කර ඇතත්, ඉන් අතිමහත් බහුතරයකට එම මුදල් ලැබී නොමැති බවට විමර්ශන අංශ සැකකරයි.
සහනාධාර ලේඛන ව්‍යාජද? විමර්ශන අංශ පීරයි
කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළ පරිදි, මෙම විමර්ශනය ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මකය.
* ඇත්ත වශයෙන්ම මෙම මුදල් අදාළ අඩු ආදායම්ලාභීන් අතට පත් වූවාද?
* එසේත් නැතහොත් ව්‍යාජ ලේඛන සකස් කර නගර සභාවේ ඉහළ නිලධාරීන් සහ දේශපාලන හිතවතුන් පිරිසක් මෙම කෝටි 50 සාක්කුවේ දමාගත්තේ ද?
* අර්බුද සමයක මෙවැනි දැවැන්ත මුදලක් නිදහස් කිරීමට අවසර දුන්නේ කවුරුන් විසින්ද?
යන්න පිළිබඳව රහස් පොලිස් (CID) නිලධාරීන්ගෙන් ද සමන්විත දක්ෂ විමර්ශන කණ්ඩායමක් මේ වනවිටත් අදාළ වවුචර සහ ලේඛන පරීක්ෂාවට ලක්කරමින් සිටී.
“අපි හිතුවට වඩා ලොකු කුණුගොඩක් නගර සභාව ඇතුළේ තියෙනවා. වාහන නැවතුම්පොළවල් බදු දීම සහ පොදු වැසිකිළි බදු දීමේදීත් මහා පරිමාණයෙන් වංචා කරලා තියෙන බව මූලික විමර්ශනවලදීම පෙනී ගියා,” යැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ‘The Leader’ වෙත තහවුරු කළේය.
කොමිසම එද්දී නගර සභාවට වැළඳුනු ‘හදිසි රෝග’
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන් නගර සභා පරිශ්‍රයට කඩා වැදීමත් සමඟ, එහි වසර ගණනාවක් තිස්සේ ‘සැප පුටු’ හොබවමින් සිටි ඇතැම් ප්‍රධාන නිලධාරීන් දැඩි බියට පත්ව ඇති බව වාර්තා වේ.
කොමිසමෙන් කැඳවීම් ලැබෙතැයි බියෙන්, ඇතැම් නිලධාරීන් හදිසියේ ‘රෝගී වී’ සේවයට වාර්තා කිරීම මඟහරිමින් සිටින බවත්, තවත් පිරිසක් නිවාඩු ලබාගෙන මඟහැර සිටීමට උත්සාහ කරන බවත් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මහා පරිමාණ වංචාවන් හෙළිදරව් කරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ අංක 2469/08 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි.
මෙමඟින් හුදෙක් 2022 වංචාව පමණක් නොව, 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා වසර 15ක කාලයක් තිස්සේ කොළඹ මහ නගර සභාව තුළ සිදුව ඇතැයි සැලකෙන පහත සඳහන් අක්‍රමිකතා රැසක් සෙවීමට බලය පවරා ඇත.
* සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම සහ රාජ්‍ය දේපළ අවභාවිතය.
* නීතිවිරෝධී බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්.
* නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කළ අක්‍රමිකතා.
* නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම් මඟින් රජයට සිදු කළ පාඩුව.
හිටපු මහාධිකරණ විනිසුරු, නීතිඥ පියසේන රණසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච් ඒකනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස් වික්‍රමසිංහ කටයුතු කරති. කොළඹ 03, ගාලු පාරේ ස්ථාපිත කර ඇති මෙම කොමිසම හමුවට ඉදිරියේදී නගර සභාවේ හිටපු දේශපාලන ප්‍රධානීන් රැසක් ද කැඳවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනතාව බදු බරින් මිරිකෙද්දී, සහනාධාරවලට පවා විදපු ‘සුදු කරපටි’ ජාවාරම්කරුවන් කවුදැයි ඉදිරි දිනවලදී රටටම හෙළිවීමට නියමිතව ඇත.




