කටුනායක අත්වැසුම් නිෂ්පාදන සමාගමක තාක්ෂණය සහ පේටන්ට් රහස් කොරියානු සමාගමකට හෙළි කිරීමේ වරද තහවුරු වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ප්‍රමුඛ පෙළේ අත්වැසුම් නිෂ්පාදන සමාගමකට අයත් නිෂ්පාදන සහ වෙළෙඳ රහස් මූල්‍යමය වාසි උදෙසා වෙනත් විදේශීය සමාගමකට රහසිගතව හෙළිදරව් කළ හිටපු සේවකයෙකුට, අදාළ සමාගම වෙත රුපියල් මිලියන 50ක වන්දියක් සහ නඩු ගාස්තු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟතාව සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මෙමගින් 2019 මාර්තු 29 වන දින කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුව සම්පූර්ණයෙන්ම බලරහිත කෙරිණි.
නඩුවේ පසුබිම සහ මහාධිකරණ තීන්දුව
නඩුවේ පැමිණිලිකාර සමාගම පෙන්වා දී තිබුණේ, රබර් කිරි උපයෝගී කරගනිමින් කාර්මික අත්වැසුම් නිෂ්පාදනය කිරීම සඳහා තමන් සතු රහසිගත තාක්ෂණයට අදාළව පේටන්ට් බලපත්‍ර පවා ලබාගෙන තිබූ බවයි. අදාළ විත්තිකරු කාර්මික පාලකවරයෙකු ලෙස දශකයකට වැඩි කාලයක් සේවය කරමින්, ආයතනයේ විශ්වාසවන්ත සේවකයෙකු ලෙස තාක්ෂණික හා වෙළෙඳ පුහුණුව ලබා තිබුණි.
කෙසේ වෙතත්, 2010 නොවැම්බර් මස අදාළ සේවකයා පූර්ව දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත් වී, කොරියානු අත්වැසුම් නිෂ්පාදන සමාගමක් සමඟ එක්ව තම සමාගමේ පේටන්ට් බලපත්‍ර සහිත තාක්ෂණික සහ වෙළෙඳ රහස් අලෙවි කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කෙරිණි.
එහිදී විත්තිකරු ප්‍රකාශ කර තිබුණේ තමන්ට එවැනි සංකීර්ණ තාක්ෂණයක් තේරුම් ගැනීමට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට තරම් අධ්‍යාපනික සුදුසුකමක් නොතිබූ බවයි. එම තර්කය පිළිගනිමින් කොළඹ වාණිජ මහාධිකරණය විත්තිකරු නිදහස් කිරීමට තීන්දු කළේය.
මහාධිකරණ තීන්දුව ඉවත දැමීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය
වාණිජ මහාධිකරණ තීන්දුවට එරෙහිව පැමිණිලිකාර සමාගම ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපත් වූ සාක්ෂි නිසි ලෙස විශ්ලේෂණය කිරීමට අපොහොසත් වී ඇති බවයි.
විත්තිකරු සේවයේ නිරතව සිටියදීම මූල්‍යමය වාසි උදෙසා සංවේදී තොරතුරු සහ නිෂ්පාදන රහස් තෙවැනි පාර්ශ්වයකට හෙළි කර ඇති බව සාක්ෂි මගින් තහවුරු වන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කාර සමාගමේ පේටන්ට් බලපත්‍රයට අදාළ තොරතුරු වෙනත් සමාගමකට විකිණීම හෝ භාවිත කිරීම වළක්වමින් තහනම් නියෝගයක්ද නිකුත් කළේය. ඒ අනුව සිදු වූ අලාභය සලකා බලමින් රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ගෙවීමට විත්තිකරුට නියෝග කෙරිණි.




