NTNSP සමාගමේ මූලිකත්වයෙන් කිලෝමීටර් 16ක භූගත පද්ධතියේ ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති අර්කම් ඉල්යාස්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
ව්‍යාපෘති සමාරම්භය සහ ආයෝජන තොරතුරු
කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කිලෝමීටර් 16ක දුරකින් යුතු 220kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීමේ සමාරම්භක උත්සවය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසලදී පැවැත්විණි.
මහා භාණ්ඩාගාරයට පූර්ණ වශයෙන් අයත් ‘නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර්’ පෞද්ගලික සමාගම (NTNSP) ස්ථාපනය කිරීමෙන් පසු ක්‍රියාත්මක කරනු ලබන ප්‍රථම ව්‍යාපෘතිය මෙය වේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) මගින් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක සහනදායී ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සම්පාදනය කර ඇත.
තාක්ෂණික පිරිවිතර සහ කොළඹ වරාය නගරයේ විදුලි අවශ්‍යතාව
මෙම නව භූගත රැහැන් පද්ධතිය ඉදිකිරීමට සමගාමීව ඊට අදාළ උපපොළවල් නවීකරණය කිරීම සහ නවීන පාලන පද්ධති ස්ථාපිත කිරීම ද සිදු කිරීමට නියමිතය.
වේගයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරය (Port City Colombo) සහ කොළඹ නාගරික කලාපය ආශ්‍රිතව දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුමට සරිලන පරිදි අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් පවත්වාගෙන යාම මෙමගින් අපේක්ෂා කෙරේ.
ජනාකීර්ණ නාගරික ප්‍රදේශ හරහා මෙම මාර්ගය දිවෙන බැවින්, භූගත ක්‍රමවේදය භාවිත කිරීම හරහා මහජනතාවට සිදුවන පීඩාව අවම වන අතර, නඩත්තු කටයුත්තකදී හෝ හදිසි බිඳවැටීමකදී විදුලි සැපයුම අඩාල නොවී විකල්ප මාර්ගයක් ලෙස ක්‍රියාකිරීමේ තාක්ෂණික හැකියාව ද මෙම පද්ධතිය සතුය.
කෙරවලපිටිය - කොළඹ භූගත විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන සංඛ්‍යාති
| * සම්ප්‍රේෂණ ධාරිතාව: 220kV භූගත රැහැන් පද්ධතියක්
| * සමස්ත දුර: කිලෝමීටර් 16ක්
| * මූල්‍ය ප්‍රතිපාදන: AIIB බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක සහනදායී ණයක්
| * ක්‍රියාත්මක කරන ආයතනය: නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් සමාගම (NTNSP)
| * ප්‍රධාන ප්‍රතිලාභය: කොළඹ වරාය නගරය ඇතුළු කලාපයට අඛණ්ඩ සහ ආරක්ෂිත විදුලි සැපයුමක් තහවුරු වීම
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවැති මෙම සමාරම්භක අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු, NTNSP ආයතනයේ සභාපති නුසිත් කුමාරතුංග, එහි ප්‍රධාන විධායක නිලධාරී නන්දන වෙත්තසිංහ සහ උපදේශක පුබුදු නිරෝෂණ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ තාක්ෂණික ශිල්පීහු රැසක් සහභාගී වූහ.





