හෘද කැතීටර්කරණ, සීටී සහ මැමෝග්‍රැෆි පද්ධති ජනතා අයිතියට
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තෘතීයික සත්කාරක රෝහල වන මහනුවර ජාතික රෝහලේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කඩිනම් කිරීම අරමුණු කරගනිමින්, රුපියල් මිලියන 570ක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති ත්‍රිත්වයක් නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ගේ සහභාගීත්වයෙන් අද (15) පෙරවරුවේ මෙම නවීන පහසුකම් විවෘත කිරීම සිදු විය.
නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු අංශ ත්‍රිත්වය
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ‘සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ (Health System Enhancement Project) යටතේ මෙම භෞතික සම්පත් ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපාදන සලසා දී ඇත.
ඒ අනුව රෝහල් පද්ධතියට එක් වූ ප්‍රධාන අංශ සහ ඒවායේ වටිනාකම් පහත පරිදි වේ.
| හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය (Cardiac Catheterization Laboratory): රුපියල් මිලියන 200ක වියදමින් ස්ථාපිත මෙම ඒකකය මහනුවර ජාතික රෝහලට එක් වූ දෙවන කැත් ලැබ් (Cath Lab) පහසුකමයි.
| සීටී පරීක්ෂණ පද්ධතිය (CT Scanner System): රුපියල් මිලියන 190ක වටිනාකමකින් යුතු මෙම යන්ත්‍රය රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා සඳහා එක් වූ දෙවන සීටී ස්කෑන් පද්ධතිය වේ.
| ඩිජිටල් මැමෝග්‍රැෆි අංශය (Mammography Unit): රුපියල් මිලියන 180ක වියදමින් ස්ථාපිත කෙරුණු අතර, මෙය මෙරට සෞඛ්‍ය පද්ධතිය සතු ඉහළම තාක්ෂණික පහසුකම් සහිත මැමෝග්‍රැෆි යන්ත්‍ර 5 අතුරින් එකකි.
දිගුකාලීන පොරොත්තු ලේඛන අවම කිරීමේ ඉලක්කය
ඇඳන් 2,800ක ධාරිතාවයකින් යුත් මහනුවර ජාතික රෝහල මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව ඇතුළු පළාත් කිහිපයක ජනතාවට සුවිශේෂී සේවාවක් සලසයි. මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් විශේෂිත පරීක්ෂණ සහ සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල රැඳී සිටින්නේ ද මෙම රෝහලේ වීම හේතුවෙන් නව යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වීම සුවිශේෂී සහනයක් වනු ඇත.
උත්සව සභාව අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මෙරට රෝහල් පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා දිවයින පුරා හෘද කැතීටර්කරණ ඒකක (Cath Labs) 16ක් මෙම වසර තුළ ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි.
"මහනුවර ජාතික රෝහල කියන්නේ රටේ දෙවන ජාතික රෝහල. විශාල ජනගහනයක් තෘතීයික සත්කාර සඳහා මෙහි පැමිණෙනවා. රුපියල් මිලියන 8,000කට වැඩි මුදලක් වැය කරමින් පිළිකා රෝග ඒකකය සහ හදිසි අනතුරු ඒකකය ඇතුළු දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ඉදිකෙරෙමින් පවතිනවා. මෙම නවීන උපකරණ ලැබීමත් සමඟ පවතින දිගු පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කර රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීමට හැකියාව ලැබෙනවා." යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එම්. එන්. වීරසූරිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙද කාර්ය මණ්ඩලය සහ රෝහල් පරිපාලන නිලධාරීහු රැසක් එක්ව සිටියහ.





