අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර සංශෝධන සම්මත කරගැනීමට ආණ්ඩුවේ අවධානය
අගවිනිසුරු ධුර කාලය සහ විශ්‍රාම වයස සංශෝධනය
අගවිනිසුරු ධුරයේ කටයුතු කළ හැකි උපරිම ධුර කාලය වසර 6කට සීමා කිරීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පැකේජයේ එක් කොටසක් ලෙස මෙම නව ප්‍රතිපාදනය ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, යම් අගවිනිසුරුවරයෙකු අදාළ තනතුරේ වසර 6ක ධුර කාලය පූර්ණය කරන්නේ නම්, එතුමන් නීතිමය විශ්‍රාම වයසට එළඹ නොසිටියද අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගත යුතු බව අදාළ සංශෝධන මගින් යෝජනා කෙරේ.
යෝජිත සංශෝධනවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද දීර්ඝ කිරීමට නියමිතය. මීට අමතරව අනෙකුත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාවන් ද වසර දෙකකින් ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.
නීති සම්පාදන ක්‍රියාවලිය සහ කාලරාමුව
අදාළ පනත් කෙටුම්පත් දැනටමත් නීති සම්පාදක වෙත යොමු කර ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නෛතික අනුමැතිය ලැබීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරයි.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමෙන් පසු, මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නෛතික ඉඩකඩ පවතින අතර, එකී අධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතය. ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනයට පෙර මෙම සමස්ත ක්‍රියාවලිය අවසන් කිරීම රජයේ ඉලක්කය වී තිබේ.
නීතිඥ සංගමය සහ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ
මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිතයන් පසුගියදා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර හමුවී සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම, මෙම කරුණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට ද නීතිඥ සංගමයේ නියෝජිතයන් අපේක්ෂා කරන බව වාර්තා වේ.
මුලාශ්‍රය :
Amendment proposes six-year term for Chief Justice




