ඩිජිටල්කරණය, දැඩි නීති පැනවීම සහ ආනයන යථා තත්ත්වයට පත්වීම රාජ්‍ය භාණ්ඩාගාරයට ශක්තියක් වෙයි
අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගිය ජූලි මාසයේ ආදායම්
ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ අඛණ්ඩව 7 වැනි මාසයටත් සිය මාසික ආදායම් ඉලක්ක අභිබවා යමින් රාජ්‍ය ආදායම් උත්පාදනයේ වඩාත්ම විශ්වාසනීය ආයතනයක් ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. ජූලි මාසය සඳහා රේගුව වෙත ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක් වුවද, ජූලි මාසයේ මුල් දින 27 අවසන් වන විටත් රුපියල් බිලියන 227.6ක ආදායමක් එකතු කර ගැනීමට රේගු දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
මෙම අතිරික්ත ආදායම් එකතු කිරීමත් සමග, 2026 වසර සඳහා නියමිත සමස්ත ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207න් 73%කට ආසන්න ප්‍රමාණයක් වසරේ මුල් මාස 7 ඇතුළත ලබාගැනීමට රේගුවට හැකි වී තිබේ. පසුගිය වසරේ ලබාගත් වාර්තාගත ආදායම හා සසඳන විට මෙවර ආදායම් ඉලක්කය 13.5%කින් අඩුවෙන් තක්සේරු කර තිබූ වටපිටාවක මෙම ජයග්‍රහණය වාර්තා වීම විශේෂත්වයකි.
ඉලක්ක අඩුවීමට හේතු සහ ආදායම් වර්ධනයේ රහස
විදේශ විනිමය සංචිත සුරැකීමේ පියවර සහ බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙරටට වාහන ආනයනය සෙමින් සිදුවනු ඇතැයි ගණන් බලමින් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙවර රේගු ආදායම් ඉලක්ක පහත හෙළන ලදී. කෙසේ වෙතත්, එම පුරෝකථනයන් අභිබවා යමින් රේගු ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇත.
නීතිමය රාමුව තදින් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ තක්සේරු කිරීමේ නිසි ක්‍රමවේද අනුගමනය කිරීම සහ ආනයනකරුවන්ගේ නීතිගරුකභාවය ඉහළ යාම මීට මූලිකවම හේතු වී තිබේ. විශේෂයෙන්ම, ආනයනික භාණ්ඩවල වටිනාකම අඩුකර පෙන්වීම (Under-invoicing) සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම වැළැක්වීමට ගත් පියවර නිසා දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ රාජ්‍ය ආදායම් අහිමිවීම් විශාල ලෙස අවම කරගැනීමට හැකිව ඇත.
මීට අමතරව, ස්වයංක්‍රීය භාණ්ඩ නිදහස් කිරීමේ පද්ධති (Automated cargo clearance systems), බහාලුම් පරික්සා කිරීමේ තාක්ෂණය (Container scanning) සහ විධිමත් අවදානම් කළමනාකරණය වැනි ඩිජිටල්කරණ පියවරයන් නිසා දූෂිත ක්‍රියාවන්ට ඇති ඉඩකඩ ඇහිරී නීත්‍යානුකූල වෙළෙඳ කටයුතු වේගවත් වී තිබේ.
ආනයන යථා තත්ත්වයට පත්වීම සහ ඉදිරි අභියෝග
2022 වසරේ හටගත් මූල්‍ය අර්බුදයෙන් පසුව විදේශ විනිමය හිඟය නිසා ආනයන සීමා වී තිබුණද, වර්තමානය වන විට සංචිත වර්ධනය වීමත් සමග කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර සහ පාරිභෝගික භාණ්ඩ ආනයනය යථා තත්ත්වයට පත්වෙමින් පවතී. වාහන ආනයනය පෙර පරිදි සිදු නොවුවද, කාර්මික සහ ව්‍යාපාරික උපකරණ මෙන්ම ගෘහස්ත භාණ්ඩ ආනයනය මත පැනවෙන තීරුබදු මගින් වාහන ආනයනයෙන් අහිමි වූ ආදායම් පියවා ගැනීමට රේගුවට හැකි වී ඇත.
2025 වසරේදී රුපියල් බිලියන 2,551ක වාර්තාගත ආදායමක් එකතු කළ රේගු දෙපාර්තමේන්තුව, 2026 වසරේ ජූලි මාසය අවසන් වීමටත් පෙර සිය වාර්ෂික ඉලක්කයෙන් තුනෙන් දෙකකට වඩා සපුරාගෙන තිබීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග වන වැඩසටහන යටතේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට විශාල රුකුලක් වී තිබේ.
කෙසේ වෙතත්, වසරේ දෙවන අර්ධයේදී මෙම ආදායම් වේගය පවත්වාගෙන යාම හමුවේ යම් අභියෝග පැවතිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම, වෙළෙඳ රටාවන් වෙනස් වන වටපිටාවක පාලන ක්‍රමවේද දැඩි කිරීම මගින් ආදායම් ඉහළ නංවාගත හැකි බව රේගු ක්‍රියාකාරීත්වය මගින් සනාථ කර තිබුණද, එම පාලනයන් සමස්ත ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීමේ වේගයට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන යාම ඉදිරියේදී වැදගත් වනු ඇත.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Customs Revenue Boom Defies Lower Targets, Raises Fiscal Questions




