* “මේක රුපියල් සල්ලි ඩොලර් කරලා පෙන්වන ඉලක්කම් විජ්ජාවක්”
* පරණ ණය පියවන්න භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලින් රුපියල් බිලියන 1,930ක අලුත්ම ණය කන්දක් රට මත පටවයි.
* 2026 වසරේ ඉදිරි මාස 6 තුළ විදේශ ණය හිමියන්ට තවත් ඩොලර් බිලියන 1.4ක් ගෙවීමේ දැඩි මූල්‍ය තෙරපුමක්.
රාජ්‍ය ණය වාර්තා ඇසුරින් රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් හෙළිදරව්වක්
රජය විසින් 2026 වසරේ පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 8.094ක දැවැන්ත ණයක් පියවා ඇති බවට පවසන කතාව හුදු ඉලක්කම් විජ්ජාවක් පමණක් බවත්, ප්‍රායෝගිකව සිදුව ඇත්තේ රටේ දේශීය හා විදේශීය ණය කන්ද තවදුරටත් ඉහළ යාමක් බවත් හිටපු ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිල දත්ත සාක්ෂි සහිතව හෙළිදරව් කරයි.
රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව, රජය පියවූ බව කියන ඩොලර් බිලියන 5.98ක මූලික මුදල සහ ඩොලර් බිලියන 2.11ක පොලිය ගෙවා ඇත්තේ ඩොලර්වලින් නොව, දේශීය රුපියල්වලිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) එකඟතාව මත සන්නිවේදන පහසුව සඳහා මෙම රුපියල් ණය ඩොලර්වලින් ලේඛනගත කර තිබීම ආණ්ඩුව තමන්ට වාසි සහගත ලෙස භාවිත කර ඇතැයි තෙන්නකෝන් පෙන්වා දෙයි.
‘රොල් ඕවර්’ මායාව සහ අලුතින් එකතු වූ ණය කන්ද
සැබෑ මූල්‍ය තත්ත්වය විග්‍රහ කරන විට, කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත් පියවීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් සිදුකර ඇත්තේ එම ණය මුදල්වලට සමාන මුදලක් නැවතත් නව බිල්පත් නිකුත් කරමින් ‘පෙරළා ලබාගැනීම’ (Rollover) පමණි.
මෙම පළමු කාර්තුව තුළ පමණක් රජය භාණ්ඩාගාර බිල්පත් මඟින් රුපියල් බිලියන 1,210ක් සහ බැඳුම්කර මඟින් රුපියල් බිලියන 720ක් ලෙස, මුළු එකතුව රුපියල් බිලියන 1,930ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.04කට සමාන) අලුත් දේශීය ණය ලබාගෙන තිබේ. මීට අමතරව IMF, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 1,500කට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත.
දත්ත පෙන්වන සැබෑ ණය තොගයේ (Debt Stock) හැසිරීම
වඩාත් නිවැරදි ක්‍රමවේදය වන රුපියල් ණය රුපියල් ලෙසත්, ඩොලර් ණය ඩොලර් ලෙසත් ගණනය කළ විට පවතින සැබෑ යථාර්ථය නිල මූල්‍ය දත්ත මඟින් මැනවින් තහවුරු වේ.
විශ්ලේෂණය:
2024 අවසානයට සාපේක්ෂව 2026 මාර්තු 31 වන විට මෙරට සැබෑ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 490කින් (රු. කෝටි 49,000කින්) සහ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 788කින් පැහැදිලිවම ඉහළ ගොස් ඇත.
ලංකා රජය 2026 වසර තුළ බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය ණය හිමියන්ට ඩොලර් බිලියන 2.7ක් ගෙවිය යුතු අතර, ජූනි දක්වා ගෙවා ඇත්තේ ඩොලර් බිලියන 1.3ක් පමණි. ඉදිරි මාස 6 තුළ තවත් ඩොලර් බිලියන 1.4ක් ගෙවීමට ඇති බැවින්, දේශීය මෙන්ම විදේශීය ණය දෙවර්ගයම ඉහළ යමින් පවතින සැබෑ ආර්ථික අවදානම වසන් කර හුදු 'ඉලක්කම් සන්නිවේදන මායාවන්ගෙන්' රටේ මූල්‍ය ස්ථාවරත්වය මැනිය නොහැකි බව ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෝ අවධාරණය කරති.




