ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍රවල වර්ධනයට සහ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කෘතිම බුද්ධිය යොදාගැනීමේ පියවරක්
'AI Week' ජාතික වැඩසටහනේ අරමුණු සහ සංවිධානය
ශ්‍රී ලංකාවේ සන්නිවේදන, සමාජයීය, ආර්ථික ඇතුළු සියලුම ක්ෂේත්‍රයන් හි ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය ඒකාබද්ධ කිරීමේ අරමුණින් 'AI Week' ජාතික සතිය සැප්තැම්බර් 28 වන දින සිට ඔක්තෝම්බර් 04 වන දින දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT-MOBITEL) එක්ව මෙම ජාතික වැඩසටහන සංවිධානය කරනු ලබයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස මෙම ක්ෂේත්‍රයේ දියුණුව ඔස්සේ මෙරට ජනතාවට සහ ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත්, මෙම වැඩසටහන රටේ තාක්ෂණික සංවර්ධනයට රුකුලක් වන බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සඳහන් කළේය. කොළඹ 03 GovTech ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
ප්‍රධාන වැඩසටහන් ත්‍රිත්වය සහ ජාත්‍යන්තර සහභාගීත්වය
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පෙන්වා දුන්නේ, ලෝකයේ දියුණු රටවල අත්දැකීම් සහ නවතම දැනුම මෙරටට ලබාගැනීමේ අරමුණින් මෙම ජාතික සතිය තුළ ප්‍රධාන අංග 3ක් ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව මහජනතාව, ව්‍යාපාරිකයන් සහ තාක්ෂණවේදීන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණය (AI Conference), ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනවල නවීන තාක්ෂණික විසඳුම් දැක්වෙන ජාතික ප්‍රදර්ශනය (National AI Expo) සහ නව නිපැයුම්වල නිරත ආයතන හා පුද්ගලයන් ඇගයීමට ලක් කෙරෙන සම්මාන ප්‍රදානෝත්සවය (National AI Awards) ඊට ඇතුළත් වේ. යුරෝපීය රටවල්, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක තාක්ෂණික ප්‍රවීණයන් සහ ආයෝජකයන් මෙම වැඩසටහනට එක්වීමට නියමිතය.
ඩිජිටල් පරිවර්තනය, ආරක්ෂණය සහ යහපත් භාවිතය
ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සහ GovPay ආයතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය සඳහන් කළේ, මෙවැනි ජාතික මට්ටමේ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පැවැත්වීම කාලීන අවශ්‍යතාවක් බවයි.
එමෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය වර්ණ ශ්‍රී ධනපාල අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව රැකගනිමින් කෘතිම බුද්ධිය යහපත් මඟට යොදාගත යුතු බවත්, විශේෂයෙන්ම ළමුන්ගේ ඩිජිටල් ආරක්ෂණය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්ය. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා පෙන්වා දුන්නේ මෙම වැඩසටහන දේශීය තාක්ෂණික ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවයි.
මීට අමතරව ළමා මනස ආරක්ෂා කරගැනීමේ ඩිජිටල් ක්‍රමවේද පිළිබඳ විශේෂ දේශනයක් තීක්ෂණ කුමාරගේ විසින් සිදු කළ අතර, Huawei ආයතනය ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(සටහන | ජේ. මුණසිංහ )




