තත්ත්වය පාලනයට පොල් සංවර්ධන අධිකාරියේ "අනාක්ෂේපිත සහතිකය" අනිවාර්ය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයේ සැරසෙයි
නියාමන හිඩැස් සහ දේශීය නිෂ්පාදකයින් මුහුණදෙන ගැටලු
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් ඇතැම් මහා පරිමාණ සමාගම් විසින් පවතින නීතිමය හිඩැස් භාවිත කරමින් පාම් තෙල් දේශීය වෙළඳපොළට මුදාහැරීම හේතුවෙන් දේශීය පොල් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවට ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය (CGASL), පොල් තෙල් නිපදවන්නන්ගේ සහ ගොවීන්ගේ සංගමය, සාමාන්‍ය ආනයනකරුවන් මෙන්ම දේශීය පාම් තෙල් පිරිපහදු කරන්නන් ඒකාබද්ධව සිය විරෝධය පළ කර තිබේ.
සාමාන්‍ය ආනයනකරුවන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට සියයට 0.4 ක සේවා ගාස්තුවක් ගෙවමින්, පොල් සංවර්ධන අධිකාරියේ (CDA) සහ කර්මාන්ත අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම්වලට යටත්ව, විශාල විශේෂ භාණ්ඩ බද්දක් (SCL) ගෙවා තෙල් ආනයනය කරන බව ඔවුහු පෙන්වා දෙති. නමුත්, නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ නැවත අපනයනය සඳහා ලබාදී තිබූ පැරණි BOI ගිවිසුම් අවභාවිත කරමින් ඇතැම් ආයතන මෙම රාජ්‍ය පරීක්ෂාවන් සහ බදු මඟහැර පාම් තෙල් තොග දේශීය වෙළඳපොළට නිකුත් කරන බවට චෝදනා එල්ල වේ.
ව්‍යාජ මිශ්‍ර කිරීම් සහ ගොවීන්ට එල්ලවන බලපෑම
මෙසේ පරීක්ෂාවකින් තොරව අඩු පිරිවැයකින් දේශීය වෙළඳපොළට පැමිණෙන පාම් තෙල්, දේශීය නිෂ්පාදනවලට වඩා අඩු මිලකට අලෙවි කිරීම නිසා දේශීය පොල්තෙල් මෝල් වැසීයාමේ තර්ජනයට ලක්ව ඇති අතර, අමු පොල් සඳහා ගොවීන්ට ලැබෙන ගොවිපොළ දොරටුවේ මිල ද පහත වැටෙමින් පවතී.
එපමණක් නොව, මෙලෙස රහසිගතව දේශීය වෙළඳපොළට පැමිණෙන බාල පාම් තෙල්, දේශීය පොල්තෙල් සමඟ මිශ්‍ර කර පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වන බවට ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ වැඩිදුරටත් අනාවරණය කරති.
ආයතනික නියාමනය සහ BOI ආයතනයේ ස්ථාවරය
ගොවීන් සහ දේශීය නිෂ්පාදකයින් මුහුණදී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇති අතර, රාජ්‍ය ආයතන අතර පවතින විෂයපථ සංකීර්ණතාව නිසා ජාතික කෘෂිකාර්මික සුභසාධනයට හානි සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කරන අනිවාර්ය "අනාක්ෂේපිත සහතිකය" (NOC) නොමැතිව BOI සමාගම් සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍යාංශය යෝජනා කර ඇත.
මේ අතර, ජාත්‍යන්තර ආයෝජන ගිවිසුම් සහ ද්විපාර්ශ්වික වෙළඳ රාමු ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), දේශීය වෙළඳපොළට තෙල් කාන්දු වන බව පිළිගත්තද, සෘජු රේඛීය අමාත්‍යාංශ මැදිහත්වීම් හමුවේ සිය නිදහස් වෙළඳ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, නැව් තොටුපොළ පරිශ්‍රයන්හි පිහිටි තෙල් ගබඩා සංකීර්ණ තුළ අනවශ්‍ය ලෙස තෙල් තොග රැස්කර තබාගන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා විගණනයක් පැවැත්වීමට BOI ආයතනය එකඟතාව පළ කර තිබේ.
ගොවීන්ගේ සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම්
දේශීය පොල් කර්මාන්තය මෙන්ම දේශීය පාම් තෙල් නිෂ්පාදනය ද සුරක්ෂිත වන පරිදි විනිවිදභාවයෙන් යුතු නියාමන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, භාවිතයට නොගෙන පවතින ඉඩම් යොදාගනිමින් දේශීයව පාම් තෙල් වගා කිරීමට ප්‍රාදේශීය වතු සමාගම්වලට (RPCs) නැවත අවසර දීම, නිෂ්පාදනය වන පාම් තෙල් දේශීය වෙළඳපොළට මුදාහැරීම වෙනුවට ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවට අපනයනය කිරීම සහ ආනයන නියාමන බලතල කර්මාන්ත අමාත්‍යාංශය වෙත පවරාදීම ඇතුළු යෝජනා කිහිපයක් ද ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කර ඇත.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
BOI Palm Oil Loophole Sparks Coconut Industry Revolt




