කෝටි 12 අල්ලස් විමර්ශනයේ නව හැරවුම
හිටපු අධිකරණ අමාත්ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයෙකු මෙන්ම වෘත්තියෙන් නීතිඥවරයෙකු වන රඛිත රාජපක්ෂ සතු බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටි ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බව කියන 'හරක් කටා' හෙවත් නදුන් චින්තක නමැත්තා බන්ධනාගාරගත කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම අල්ලස ඉල්ලා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොමිසම අධිකරණයට වාර්තා කර ඇති ආකාරයට, සැකකරුවන් විසින් මුලින් රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා, පසුව එය කෝටි 20 දක්වා අඩු කර, අවසානයේ රුපියල් කෝටි 12ක මුදලක් ඔහුගේ බිරිඳගෙන් ලබාගෙන තිබේ.
නොසොයාගත් කෝටි 12 සහ නව පනතේ දැල
විමර්ශන නිලධාරීන් පෙන්වා දෙන්නේ අල්ලස් ලෙස ලබාගත් බව කියන එම රුපියල් කෝටි 12ක මුදල මෙතෙක් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම දැඩි තීන්දුව ගත් බවයි.
ඒ අනුව, 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ ප්රතිපාදන ප්රකාරව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගෙන ඇත.
නීතිවිරෝධී මාර්ගවලින් උපයාගත් බවට සැකකෙරෙන වත්කම් ඉලක්ක කරගත් නව නීති රාමුව යටතේ ප්රමුඛ දේශපාලන පවුලක සාමාජිකයෙකුට එරෙහිව ක්රියාමාර්ගයක් ගත් ප්රමුඛ අවස්ථාවක් ලෙස මෙය නිරීක්ෂකයෝ හඳුන්වති. අත්හිටුවන ලද බැංකු ගිණුම්වල පමණක් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් තැන්පත්ව තිබී ඇත.
නිවසේ නොසිටි සැකකරු සහ බිරිඳට දුන් නොතීසිය
දේපළ තහනම් කිරීමේ නියෝගය නිල වශයෙන් භාරදීමට කොමිෂන් සභාවේ නිලධාරීන් රාජගිරිය නාවල පිහිටි රඛිත රාජපක්ෂගේ නිවාස සංකීර්ණය වෙත කිහිපවරක්ම ගොස් ඇතත්, ඒ වන විටත් ඔහු නිවසේ රැඳී සිට නැත.
අනතුරුව අදාළ ලිඛිත නියෝගය ඔහුගේ බිරිඳ වෙත භාරදීමට විමර්ශන කණ්ඩායම පියවර ගෙන තිබේ.
මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස රඛිත රාජපක්ෂ ද, දෙවැනි සැකකරු ලෙස සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ තෙවැනි සැකකරු ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා හිටපු අධ්යක්ෂ වරුණ හැන්දිගේ අරුණ ශ්රී චතුරංග යන අය නම් කර සිටිති.
දෙසැම්බර් 8 වනදා අධිකරණයට වාර්තාවක්
සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා පසුගිය ජූලි 28 වනදා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මගින් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කෙරිණි.
අධිකරණ නියෝග අනුව මෙම විමර්ශනවල සම්පූර්ණ ප්රගතිය ලබන දෙසැම්බර් මස 08 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොමිසම වැඩිදුර විමර්ශන මෙහෙයවයි.



