පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කෙරෙන අතිශය සංවේදී සහ තීරණාත්මක විමර්ශන කටයුතුවලට බාධා කරමින්, සාක්ෂිකරුවන් කරුණු හෙළිදරව් කිරීම වැළැක්වීමේ අරමුණින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ චේතනාන්විතව කටයුතු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
එමෙන්ම, විමර්ශන නිලධාරීන්ට එරෙහිව මහජනතාව තුළ වෛරී හැඟීමක් සහ අප්‍රසාදයක් ඇති කරමින්, පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය කෙරෙහි මහජන විරෝධයක් නිර්මාණය කිරීමේ සැලසුම් සහගත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිටුපස උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර සෘජුවම සිටින බව පැහැදිලිව නිරීක්ෂණය වන බවත් CIDය අධිකරණයට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවක සඳහන් වේ.
උපවාසය ‘සැලසුම් සහගත’ එකක්ද?
CIDය අද අධිකරණයට පෙන්වා දී ඇත්තේ සැකකාර සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් මොහොතේ සිට මේ දක්වා විමර්ශන සඳහා කිසිදු සාධනීය සහයෝගයක් ලබා දී නොමැති බවයි. ඔහු විසින් සිදු කරන ලදැයි කියන ආහාර වර්ජනය සැලසුම් සහගත ක්‍රියාවක් බවත්, පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා අවස්ථා දෙකකදී සැකකරුව පරීක්ෂා කර රුධිරයේ සීනි මට්ටම (Blood Sugar) අඩුවී ඇති බව තහවුරු කිරීමෙන් පසුව, වගකීමෙන් යුතුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් CIDය පවසයි.
විමර්ශන හරහා තීරණාත්මක කරුණු අනාවරණය වෙමින් පවතින මොහොතක, මහජනතාව රැස් කරමින් දේශපාලන නායකයන් විසින් මෙහෙයවන මෙම ක්‍රියාදාමය විමර්ශන ව්‍යූහය අඩපණ කිරීමේ උත්සාහයක් බවට රජයේ පාර්ශ්වයෙන් චෝදනා නැඟේ.
මුලාශ්‍රය : newsfirst.lk




