"නීතිඥ සහාය ලැබීම රැඳවියෙකුගේ මානසික ශක්තියට අත්‍යවශ්‍යයි" - මනෝරි සලේ ගෙන් මානුෂීය පැහැදිලි කිරීමක්.
දෛනිකව සැකකරු බැලීමට බිරිඳ, පුතා සහ දුවට අවස්ථාව සලසා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින අතරතුර රෝගාතුර වීම නිසා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට හිමිවිය යුතු නෛතික/මානුෂීය පහසුකම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර නිල ලිපි හුවමාරුවක් සිදුව ඇත.
මෙහිදී දෙපාර්ශ්වයම නීතිමය ප්‍රතිපාදන සහ මානුෂීය කරුණු මුල් කරගනිමින් තම අදහස් හුවමාරු කරගෙන තිබේ.
CID අධ්‍යක්ෂවරයාගේ ලිඛිත දැනුම්දීම
සුරේෂ් සලේ ට සතියේ දින පහ පුරාම ඔහුගේ නීතිඥවරයා හමුවීමට අවසර දෙන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට පිළිතුරු සපයමින් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ලිඛිතව පෙන්වා දී ඇත්තේ දැනට පවතින තත්ත්වය මත එම ඉල්ලීම සම්පූර්ණයෙන් ඉටු කිරීමට තාක්ෂණික බාධාවන් පවතින බවයි.
CID අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන පරිදි, සුරේෂ් සලේ මේ වන විට සෘජු විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින්, මෙම අවස්ථාවේදී ඔහුට දෛනිකව නීති උපදෙස් ලබා ගැනීමේ ක්ෂණික අවශ්‍යතාවයක් පැන නොනඟී. එමෙන්ම, දැනටමත් ශාරීරිකව දුර්වලව සිටින සැකකරුට වෛද්‍ය උපදෙස් පරිදි උපරිම මානසික සහ කායික විවේකය අවශ්‍ය වන අතර, නිරන්තරයෙන් බාහිර පාර්ශ්වයන් හමුවීම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බවද එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, අධිකරණ නියෝගයන්ට අනුකූලව සෑම සතියකම බදාදා දිනවල නීතිඥවරයාට ඔහුව හමුවීමට අඛණ්ඩව ඉඩ සලසා දී ඇති බවත්, සැකකරුගේ මානුෂීය අවශ්‍යතා සලකා බිරිඳ, දියණිය සහ පුත්‍රයා යන සමීපතම පවුලේ සාමාජිකයන්ට දෛනිකව ඔහුව බැලීමේ අවස්ථාව දැනටමත් ලබා දී ඇති බවත් CIDය අවධාරණය කරයි.

මනෝරි සලේ ගේ මානුෂීය ප්‍රතිචාරය
CID අධ්‍යක්ෂවරයාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් මනෝරි සලේ ජූනි 14 වැනිදා නැවතත් ලිපියක් යොමු කරමින් තම පාර්ශ්වයේ මානුෂීය ස්ථාවරය පැහැදිලි කර තිබේ.
ඇය පෙන්වා දෙන්නේ සිය සැමියා පසුවන බරපතළ රෝගී තත්ත්වය සහ මානසික පීඩනය හමුවේ, නීතිඥ සහාය අඛණ්ඩව ලැබීම රැඳවියෙකු සතු මූලික සහ සාධාරණ අයිතිවාසිකමක් වන බවයි. සැමියා මේ වන විට පසුවන අසීරු සෞඛ්‍ය වටපිටාව තුළ නීතිඥවරයා නිතර හමුවීමට ලැබීම ඔහුගේ මානසික පීඩනය අවම කරගැනීමට සහ නීතිමය පිළියම් කෙරෙහි විශ්වාසය තැබීමට මහෝපකාරී වන බව ඇය විශ්වාස කරයි.
එමෙන්ම, මාස දෙකකට ආසන්න රැඳවුම් කාලය තුළ විමර්ශන කටයුතු සිදු වූයේ සීමිත අවස්ථාවලදී පමණක් බැවින්, රෝහල්ගතව සිටින මෙම කාල සීමාවේදී පවා නීතිඥ උපදෙස් දෛනිකව ලබාගැනීමට අවසර දීම මානුෂීය පදනමකින් සලකා බැලිය යුතු බව ඇය සිය ලිපියෙන් ඉල්ලා සිටී.




