අත්අඩංගුවේ පසුවන නිලධාරීන් යළි රිමාන්ඩ්; හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ දැඩි ආරක්ෂාව යටතේ රෝහලේ
2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, වව්නතිව් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකා කඳවුරේ බුද්ධි තොරතුරු ඇතුළත් නිල සටහන් පොත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිය භාරයට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.
ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීම්
අදාළ බුද්ධි තොරතුරු සටහන් පොත භාරව කටයුතු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරයාගෙන් මේ වන විටත් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.
එම සටහන් පොතේ අන්තර්ගත සංවේදී හා තීරණාත්මක බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති අතර, ඒ ඔස්සේ පුළුල් හා ගැඹුරු විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවද වාර්තා වේ. 2018 වසරේ නොවැම්බර් මාසයේදී වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සහ පසුව සිදුවූ පාස්කු ප්‍රහාර මාලාව අතර පැවති සබඳතා පිළිබඳව මීට පෙරද විවිධ පාර්ශ්වයන්ගෙන් කරුණු මතු වී තිබිණි.
දේශපාලන ප්‍රකාශ ඇතුළත් සීඩී තැටි අධිකරණයට
මෙම නඩුකරයට අදාළව විමර්ශන ක්‍රියාවලියට සහ අධිකරණ කටයුතුවලට බලපෑම් සහගත වන අන්දමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අධිකරණයට අපහාස කළ බව කියන දේශපාලනඥයන් හා ප්‍රමුඛ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ අඩංගු සංයුක්ත තැටි (CD) ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් විවිධ අවස්ථාවලදී මාධ්‍ය හමුවේ සිදුකරන ලද ප්‍රකාශ ඊට ඇතුළත් බව වාර්තා වේ.
සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට
මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරීන් වන යසිල් බාවා ජෙගිල් පාස් සහ එස්.එන්. සරත් සමන්ත යන සැකකරුවන් දෙදෙනා ලබන සැප්තැම්බර් මස 02 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට දැඩි ආරක්ෂක රැකවල් මැද විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවේ.




