BREAKING
බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාර නඩුව: 'CIDයෙන් ගැහුවා; බලහත්කාරයෙන් ප්‍රකාශ ගත්තා' - විත්තිකරුවන් තිදෙනෙකුගෙන් විත්ති කූඩුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

T

The Leader Desk

August 19, 2026 • 4:41 PM

පාස්කු ප්‍රහාර නඩුව: 'CIDයෙන් ගැහුවා; බලහත්කාරයෙන් ප්‍රකාශ ගත්තා' - විත්තිකරුවන් තිදෙනෙකුගෙන් විත්ති කූඩුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෝදනා 23,270ක් සහිත ඓතිහාසික නඩුවේ විත්තිකරුවන් 18 දෙනෙකුගේ සාක්ෂි විමසීම අවසන් වෙයි
  • නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම ඉකුත් සතියේ අවසන් වීමෙන් පසු විත්තිකරුවන්ගේ විත්තිවාචක කැඳවීම පසුගිය 17 වැනිදා ආරම්භ වූ අතර, අද දහවල් වන විට නඩුවේ ප්‍රධාන චූදිතයන් තිදෙනෙකු සිය ප්‍රකාශ සටහන් කරනු ලැබීය.
  • "බලපෑම් මැද දුන් ප්‍රකාශවල සත්‍ය මෙන්ම අසත්‍යත් තියෙනවා" - 15 වන විත්තිකරු දෙමළ බසින් සිය විත්තිවාචකය ඉදිරිපත් කළ නඩුවේ 15 වන විත්තිකරු වන මොහොම්මදු මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දින් හෙවත් 'අබු හිනා', පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
  • ඔහුගේ ප්‍රකාශය දුවාලින් තුවාන් සදාම් විසින් සිංහල බසට පරිවර්තනය කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

 

තමන් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නැති බවත්, සිදු කළේ පහරදී ලබාගත් පාපොච්චාරණ බවත් විත්තිකරුවෝ අධිකරණයට කියති

2019 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවන් තෙවැනි දිනටත් විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචක ඉදිරිපත් කිරීම අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරිණි.

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය දිනපතා විභාගයට ගැනේ. නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම ඉකුත් සතියේ අවසන් වීමෙන් පසු විත්තිකරුවන්ගේ විත්තිවාචක කැඳවීම පසුගිය 17 වැනිදා ආරම්භ වූ අතර, අද දහවල් වන විට නඩුවේ ප්‍රධාන චූදිතයන් තිදෙනෙකු සිය ප්‍රකාශ සටහන් කරනු ලැබීය.

"බලපෑම් මැද දුන් ප්‍රකාශවල සත්‍ය මෙන්ම අසත්‍යත් තියෙනවා" - 15 වන විත්තිකරු

දෙමළ බසින් සිය විත්තිවාචකය ඉදිරිපත් කළ නඩුවේ 15 වන විත්තිකරු වන මොහොම්මදු මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දින් හෙවත් 'අබු හිනා', පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණය හමුවේ කරුණු දැක්වීය. ඔහුගේ ප්‍රකාශය දුවාලින් තුවාන් සදාම් විසින් සිංහල බසට පරිවර්තනය කරන ලදී.

2018/2019 වකවානුවේදී රට තුළ මුස්ලිම් ප්‍රජාව මුහුණ දුන් විවිධ ගැටලු, හලාල් අර්බුදය, දිගන සහ අලුත්ගම සිදුවීම් මෙන්ම ආගමික ස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව සිහිපත් කළ හෙතෙම, එම වකවානුවේදී ඇති වූ අනාරක්ෂිතභාවය හේතුවෙන් සාකච්ඡා පැවැත්වූ බව ප්‍රකාශ කළේය.

"මම 2014 සිට සහරාන් මව්ලවිව හඳුනනවා. පල්ලියේ විශේෂ දේශනවලට ඔහුව ගෙන්වා ගත්තා. නුවරඑළියේ පැවති සාකච්ඡාවකට මා ගියත්, සාක්ෂි දුන් අනස් නැමැත්තා පැවසූ පරිදි මා එහි රැඳී සිටියේ නැහැ. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කර දුන් සාක්ෂියක් ලබා දී ඇති බව පෙනී යනවා. 127 වගන්තිය යටතේ මා ලබා දුන් ප්‍රකාශය මා කැමැත්තෙන් දුන් එකක් නොවෙයි. CID එක තුළ තිබූ පරිසරය සහ පහරදීම් නිසා එසේ ප්‍රකාශ කිරීමට සිදු වුණා. මා සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බැවින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා."

"සුපර්මාකට් කාඩ් එකටත් ගැහුවා; අද මම සදාකාලික රෝගියෙක්" - 13 වන විත්තිකරු

අනතුරුව කොළඹ සහිරා විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ බව සඳහන් කරමින් නඩුවේ 13 වන චුදිත මොහාමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් හෙවත් 'අබු මොහොමඩ්' සිංහල බසින්ම සිය විත්තිවාචකය ඉදිරිපත් කළේය.

2019 අප්‍රේල් 26 වන දින තම කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බවත්, ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී දරුණු ලෙස වධහිංසාවට ලක් වූ බවත් ඔහු අධිකරණයට ප්‍රකාශ කළේය.

"මගේ පසුම්බියේ තිබූ සුපිරි වෙළඳසැල් ලකුණු කාඩ්පතක් (Points Card) ජාත්‍යන්තර ගිණුමක කාඩ්පතක් යැයි පවසමින් පවා මට පහර දුන්නා. PVC බටවලින් සහ කොසු කැඩෙන තුරු පහරදීම නිසා මගේ කොන්දට බරපතළ හානි සිදු වී අද මා ආබාධිත තත්ත්වයට පත්ව සිටිනවා. සහරාන් සමඟ කුමන්ත්‍රණය කළ බවට හෝ අවි පුහුණුව ලැබූ බවට එල්ල වන චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරනවා. මගේ ලැප්ටොප් පරිගණකය හෝ දුරකථන පරීක්ෂාවේදී මා අන්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් හෙළි වී නැහැ."

විත්තිකරුවන් 18 දෙනෙකුගේ සාක්ෂි විමසීම අවසන්

ඉන් අනතුරුව සහරාන්ගේ කණ්ඩායමේ සන්නද්ධ අංශ නායකයා ලෙස නම් කර ඇති 03 වන චුදිත හයාතු මොහොමදු අහමදු මිල්හාන් (අබු සලා) සිය විත්තිවාචකය ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර, වැඩිදුර විභාගය පස්වරුවට කල් තැබිණි.

මෙම නඩුවේ 17 වන චුදිත මියගොස් ඇති අතර, 6 වන චුදිත මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් ‘අබු තරීක්’ යන අය විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබා නොදී නිශ්ශබ්දව සිටීමට තීරණය කර ඇත. ඒ අනුව මේ වන විට නඩුවේ විත්තිකරුවන් 18 දෙනෙකුගේ සාක්ෂි විමසීම් කටයුතු අවසන්ව තිබේ.

විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270ක් යටතේ ගොනු කර ඇති මෙම නඩුව සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු නම් කර ඇත.

නඩු විභාගය සඳහා පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර සහ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා  ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥ මණ්ඩලයක් පෙනී සිටින අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ කනීල් මද්දුමගේ, රවිදු යසස්, නිරෝෂන් සිරිවර්ධන සහ ලෝරන්ස් ඇඩම්ස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.

සබැඳි පුවත් :

රහස් පොලිසිය ගෆූර් මාමාට බලෙන් ඌරු මස් කවා පාපොච්චාරණ ගත්තේයැයි උසාවියේදී හෙළිවෙයි

පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...