හිටපු පොලිස්පති පූජිත් කැඳවීම විත්තිය අත්හරී: ඉදිරි සාක්ෂි විභාගය හෙට සිට ඇරඹේ
2019 පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් විසිහතර දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විත්තිවාචක ඉදිරිපත් කිරීමේ අදියර අද (20) සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් සම්පූර්ණයෙන්ම අවසන් කෙරිණි.
නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය දිනපතා විභාගයට ගැනේ.
විත්තිවාචක ඉදිරිපත් කිරීම සහ සාක්ෂි විමසීම
පසුගිය සතියේදී පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව, විත්තිකරුවන්ගේ විත්තිවාචක සහ විත්තියේ සාක්ෂි කැඳවීම ඉකුත් 17 වැනිදා ආරම්භ කෙරිණි. ඒ අනුව පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 23 දෙනෙකු විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ මෙතෙක් අධිකරණය හමුවේ තබන ලදී.
අද දිනයේදී 04 වන විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් ‘අබු උමර්’, 05 වන විත්තිකරු මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා සහ 09 වන විත්තිකරු මෙහොමඩ් රමිස් මොහොමඩ් සාජිත් යන තිදෙනා සිය විත්තිවාචක ඉදිරිපත් කළහ. එහිදී 04 වන විත්තිකරු පැය තුනකට ආසන්න කාලයක් දෙමළ බසින් සාක්ෂි ලබා දුන් අතර, එම ප්‍රකාශය පරිවර්තක දුවාලින් තුවාන් සදාම් විසින් එකවර සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී.
මෙම නඩුවේ 17 වන විත්තිකරු වන මොහොමඩ් රයුෆ් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 06 වැනි විත්තිකරු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් නොහොත් ‘අබු තරීක්’ විත්තිවාචක ඉදිරිපත් නොකර නිහඬව සිටීමට තීරණය කර ඇත.
විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි සහ ඉදිරි පියවර
විත්තිවාචක අවසන් වීමත් සමඟ විත්තිය වෙනුවෙන් කැඳවීමට නියමිත සාක්ෂිකරුවන් 35 දෙනා අතුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ස්ථානාධිපතිවරයා සහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු පිරිසකට හෙට (21) සහ ලබන සඳුදා දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද සිතාසි නිකුත් කළේය.
මීට පෙර 05 වන විත්තිකරු විසින් සාක්ෂිකරුවෙකු ලෙස නම් කර තිබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ සාක්ෂිය කැඳවීම අත්හැරීමට තීරණය කළ බව විත්තිය අද අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.
නඩුවේ පසුබිම
මෙම නඩුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ විභාගයට ගැනෙන සුවිශේෂීම නඩුකරයක් වන අතර, නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ චෝදනා 23,270ක් අන්තර්ගත වේ. නඩුව වෙනුවෙන් පැමිණිල්ල පාර්ශ්වයෙන් නම් කර තිබූ සාක්ෂිකරුවන් සංඛ්‍යාව 2,309කි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ගේ මූලිකත්වයෙන් විමර්ශන සිදු කෙරුණු මෙම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥ මණ්ඩලයක් පෙනී සිටියි.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කනීල් මද්දුමගේ, රවිදු යසස්, නිරෝෂන් සිරිවර්ධන සහ ලෝරන්ස් ඇඩම්ස් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටිති. විත්තියේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු ලිඛිත හා වාචික දේශන ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සබැඳි පුවත් :
රහස් පොලිසිය ගෆූර් මාමාට බලෙන් ඌරු මස් කවා පාපොච්චාරණ ගත්තේයැයි උසාවියේදී හෙළිවෙයි
පාස්කු ප්‍රහාර නඩුව: 'චෝදනා ගෙතූ ඒවා; පාපොච්චාරණ ගත්තේ වදදීලා' – විත්තිකරුවන් කූඩුවේ සිට කියයි
පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' කියූ නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට කළ හෙළිදරව්ව
පාස්කු ප්‍රහාරයේ මහා නඩුව තීරණාත්මක කඩඉමකට: විත්තිවාසික කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග
පාස්කු නඩුවේ තීරණාත්මක හැරවුමක්: විත්තිකරුවන් 23ක් කූඩුවේ සිට ප්‍රකාශ දීමට සැරසෙයි




