තම මව්පියන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දරුවන් පසුබට වන්නේ නැත. රෝගී වූ ආදරණීය මව රැකගැනීමේ අරමුණින් පෞද්ගලික රෝහලක පිහිට පැතූ නාවල ප්රදේශයේ දියණියක, අද මවගේ වියෝවේ වේදනාව මැදම බරපතල නෛතික අර්බුදයකට මැදිව සිටින්නේ එවන් පීඩාකාරී පසුබිමකය.
කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සිය මව මියයාමෙන් පසු, ඉතිරිව තිබූ බිල්පත් මුදලක් හේතුවෙන් රෝහල් පාර්ශ්වය පැවරූ නඩුවකට මුහුණදුන් එන්. එෆ්. රාජකරුණා මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී අබේවික්රම මහත්මිය ඊයේ (29) නියෝග කළාය.
කෝටියකට වඩා ගෙවූ පසුත් ඉතිරිවූ අතිවිශාල බිල
රාජගිරිය නාවල පදිංචිව සිටි ලීලානි සුනේත්රා මහත්මිය අසනීප තත්ත්වයෙන් පසුවෙද්දී, ඇයව කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි ප්රමුඛ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ ඉහළම වෛද්ය සත්කාර අපේක්ෂාවෙනි. පසුගිය අගෝස්තු 27 සිට ඔක්තෝම්බර් 11 දක්වා මාස එකහමාරක පමණ කාලයක් තුළ එම රෝහල මඟින් ඉදිරිපත් කළ සම්පූර්ණ බිල්පත රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂය (22,406,313) ඉක්මවා තිබිණි.
රෝහලෙන් ලබාදුන් ලක්ෂ 10ක වට්ටම හැරුණුකොට, දියණිය සිය මව වෙනුවෙන් රුපියල් එක්කෝටි දහඅට ලක්ෂයක (11,800,000) අතිවිශාල මුදලක් රෝහලට ගෙවා පියවා තිබිණි. රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මව අවසානයේ ජීවිතක්ෂයට පත්වූ අතර, ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් එක්කෝටි හය ලක්ෂයකට අධික මුදල නිසා මව අහිමිවූ දියණියට එරෙහිව 'වංචා සහගත ලෙස මුදල් පැහැරහැරීම' යටතේ නඩු පැවරීමට රෝහල් පාර්ශ්වය පියවර ගත්තේය.
මෘත දේහයත් රඳවාගත් වේදනාකාරී මොහොත
මවගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටි දියණිය මුහුණදුන් වඩාත්ම අවාසනාවන්ත තත්ත්වය වූයේ, බිල්පතේ ඉතිරි කොටස නොගෙවීම හේතුවෙන් මවගේ දේහය අවසන් කටයුතු සඳහා භාරදීම රෝහල විසින් ප්රතික්ෂේප කිරීමයි. දින දෙකක් පුරා මවගේ දේහය රෝහලේ රඳවා තබාගැනීම හමුවේ අසරණ වූ ඇයට සිදුවූයේ යුක්තිය පතා මරදාන පොලිසියේ පිහිට පැතීමටය.
පොලිස් කරුණු දැක්වීම සලකා බැලූ මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත් ප්රේමලාල් අතුකෝරල මහතා, වහාම පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය දියණියට භාරදෙන ලෙසත්, බොරැල්ල පොදු සුසාන භූමියේ සලකුණු කළ ස්ථානයක භූමිදානය කරන ලෙසත් නියෝග කළේ මවගේ නිසල දේහයට හෝ ගෞරවනීය සමුගැනීමක් ලබාදීමේ අයිතිය තහවුරු කරමිනි.
නඩුවේ නීතිමය අඩුපාඩු ගැන විත්තියෙන් විරෝධතා
අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව විත්තිකාරිය ලෙස පෙනී සිටි අවස්ථාවේදී, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා පෙන්වා දුන්නේ මෙවැනි පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමේදී තිබිය යුතු මූලික නෛතික විධිවිධාන පවා සපුරා නොමැති බවයි. එම නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට විත්තිය සූදානම් වෙයි.
රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ඊට ප්රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බව පැවසූ අතර, කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරිය විත්තිකාරියට ඇප නියම කරමින් වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදාට කල් තැබුවාය.
ජීවිතයක් බේරාගැනීමට රුපියල් කෝටියකට වඩා වැය කළ දියණියකට, අවසානයේ මවගේ නිසල දේහයත් අහිමිව නීතිය ඉදිරියේ විත්තිකූඩුවට නැගීමට සිදුවීම සමාජය හමුවේ බරපතල ප්රශ්නාර්ථයක් ඉතිරි කර තිබේ.



