අජිත් අමරසිංහ විසින් රචිත “ලංකාවේ පෘතුගීසි සිටි යුගය (1505-1594)” පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම 2026 නොවැම්බර් මස 11 වෙනි බදාදා පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සාමාජිකයකු වන අජිත් අමරසිංහගේ තුන්වැනි ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය මෙයයි. ඔහුගේ මුල්ම ඉතිහාස කෘතිය “ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම” යි. ඔහු ලියූ Finding Sinhabahu ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී විශිෂ්ටතම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශ විය. ඔහු විවිධ ඓතිහාසික කරුණු පිළිබඳව ලියූ ලිපි හා පර්යේෂණ ලේඛන විද්වතුන්ගේ පැසසුමට ලක්ව ඇත.
වෘත්තියෙන් ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ MBBS, MD, DCH (කොළඹ විශ්වවිද්‍යාලය), MRCP, MRCPCH (එක්සත් රාජධානිය), MBA (මනිපාල්), DAA (වෙල්ලෝර්) උපාධිධරයෙකි.
මෙතෙක් නොදුටු පෘතුගීසි යුගයක තතු

“ලංකාවේ පෘතුගීසි සිටි යුගය (1505-1594)” පොත, එමගින් ආවරණය වන කාල පරිච්ඡේදය පිළිබඳව මෙතෙක් දේශීයවත්, ජාත්‍යන්තරවත් ලියැවී ඇති දීර්ඝතම සහ සවිස්තරාත්මකම කෘතියයි. මේ කෘතියෙහි ඇති වැදගත්කම එය පමණක් නොවේ. මෙහි මෙතෙක් අප දැන සිටි කරුණු පවා නිවැරදි කාලානුක්‍රමයකට අනුව පෙළගස්වා තිබේ.
එය එම යුගය පිළිබඳ විධිමත් සහ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේදී සාමාන්‍ය පාඨකයන්ට පමණක් නොව ශාස්ත්‍රඥයන්ට පවා මෙතෙක් මුහුණ දෙන්නට සිදු වූ බරපතළ ගැටලුවක් නිරාකරණය කර දීමකි.
අනෙක් අතට පෘතුගීසින් ලංකාවේ 'සිටි' එම යුගය සම්බන්ධයෙන් නියත සත්‍යය සේ ස්ථාපිතව ඇති බොහෝ අදහස් හා නිගමන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ පොත මගින් කරුණු හා සාධක සහිතවම පෙන්වා දෙයි. ඒ අනුව මේ කෘතිය මගින් පාඨකයා ඉදිරියෙහි නිරාවරණය කර දක්වන්නේ මෙතෙක් අප නොදැන සිටි වෙනස්ම ආකාරයේ පෘතුගීසි යුගයකි.
දේශන සහ විද්වත් සහභාගිත්වය
කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මහාචාර්ය කරුණාරත්න පරණවිතාන විසින් විශේෂ දේශන පවත්වනු ඇත.




