දෙසිය හැටකට අධික සාමාන්ය වැසියන්ට ජීවිත අහිමි කරමින් හත් වසරකට ඉහත දී පාස්කු ඉරුදින එල්ල කළ බෝම්බ ප්රහාර මාලාවට සම්බන්ධ මෙතෙක් නීතියේ රැහැනට හසු නොවූ පිරිසක් කොටු කර ගැනීමේ අරමුණින් පාස්කු මහ නඩුවෙන් දඬුවම් නියම කෙරුණු කිහිප දෙනකුගෙන් ප්රශ්න කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසරය ඉල්ලා තිබේ.
"ස්වාමිනි පාස්කු ප්රහාරය පිළිබඳ මුඛ්ය නඩුව තමයි පසුගියදා ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අවසන් වූ නඩුව. එහිදී තමන්ව වරදකරුවන් කර තිබියදීත් චූදිතයන් තිදෙනෙක් බයනැතුව විනිසුරු මඩුල්ල ඉදිරියේ කියනවා 'අපි හිරේ ගියාට, සත්ය වශයෙන්ම සම්බන්ධ පිරිස එළියේ ඉන්නවා කියලා' මේක ස්වාමිනි බරපතළ ප්රකාශයක්. ඒ අනුව මිල්හාන්, රිස්කාන් සහ සෙයිනුල් ආබ්දින් යන අයගෙන් ප්රකාශ ලබාගැනීමට අවසර ලබාදෙන්න."
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේනගෙන් එම අවසරය ඉල්ලා ඇත්තේ පාස්කු ඉරුදින ප්රහාර මාලාව පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී ඔක්තෝබර් 21 වැනි බදාදා යළි කැඳවූ අවස්ථාවේදීය.
සිරගෙදරදී ප්රශ්න කිරීමට CID නිලධාරීන් 8 දෙනෙකුට අවසර
ඔවුන් බන්ධනාගාරගතව සිටියදී මෙලෙස ප්රකාශ ලබාගැනීම සදහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේනගෙන් අවසර ඉල්ලා ඇත්තේ මේ වන විට අධිකරණයෙන් වරදකරුවන් වී සිර දඩුවම් විදිමින් සිටින පාස්කු මහ නඩුවේ තෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටි හයාතු මොහොමදු මිල්හාන්, හයවැනි විත්තිකරු ලෙස නම් කර සිටි මොහොමඩ් රිස්කාන්ගෙන් සහ දසවැනි වැනි විත්තිකරු ලෙස නම් කර සිටි සෙයිනූල් ආබ්දීන්ගෙනි.
අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ ඒ අනුව ඔක්තෝබර් 22 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ බන්ධනාගාරය තුළට ගොස් ඔවුන්ගෙන් ප්රශ්න කර ප්රකාශ සටහන් කර ගැනීමට අධිකරණය හමුවේ නම් කළ විමර්ශන නිලධාරීන් 08 දෙනකුට මහේස්ත්රාත් අධිකරණය අවසරය ලබා දුන් බවයි.
15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්රිලා, සිනමන් ග්රෑන්ඩ් හෝටලය ඉලක්ක කර ගනිමින් 2019 අප්රේල් මස 21 වන පාස්කු ඉරු දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාවට අදාලව කුමන්ත්රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කළ විත්තිකරුවන් 15 දෙනකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් 2026 සැප්තැම්බර් 22 දා තීන්දු කළේය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීන්දුව ප්රකාශයට පත් කළේ වසර හයකට ආසන්න කාලයක් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.
ඒ අනුව මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්), හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා), කච්චි මොහොමඩ් ජෙස්මින් යන වරදකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 200ක සිර දඬුවම් නියම කළ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මොහොමදු ඊබ්රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබූ ෆුර්කාන්), මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්), රසික් රාසා හුසේන් යන වරදකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 220 බැගින් වූ සිර දඬුවම් නියම කළේය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන් වසර 240 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබුනේ මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්) හෙවත් ගෆූර් මාමා, හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්රහිම් අබ්දුල් හක් (අබූ ෆලා) යන විත්තිකරුවන්ට යි.
අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස් යන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 260ක සිර දඬුවම් නියම කළ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරුවන් කොට සිර දඬුවම් නියම වූ විත්තිකරුවන්ගේ සියලු නිශ්චල සහ චංචල දේපළ තීන්දුව ප්රකාශයට පත්කළ 2026 සැප්තැම්බර් 22 දා දින සිට ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්රතිපාදනවලට අනුකූලව රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසත් වැඩි දුරටත් නියෝග කර තිබුනි.
තීන්දුව අභියෝගයට
කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ශතවර්ෂ දෙකකට අධික කාලයක් සිරගත කෙරුනු තමන්ට එරෙහිව ලැබුණු තීන්දුව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් ලක් කිරීමට අධිකරණයෙන් වැරදිකරුවන් කර සිර දඩුවම් නියම වුවන් පසුගියදා කටයුතු කර තිබුනි.
තමන්ට එරෙහිව කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ දිනපතා විභාගයට ගත් පාස්කු ප්රහාරයට එරෙහි නඩුවේදි, එම නඩුව විභාග කළ විනිසුරුවරුන් විසින් තම විත්ති වාචිකවලට නිසි පරිදි අවධානය යොමු නොකර, විනිවිදභාවයෙන් යුත් සාධාරණ නඩු විභාගයක් නොපවත්වා, නීතිය හමුවේ නිසි පරිදි සනාථ කළ නොහැකි සාක්ෂි මත පදනම් වෙමින් කටයුතු කොට තමන් වරදකරුවන් බවට තීන්දුවක් ලබා දුන් බවත් ජ්යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක දායකත්වයෙන් ඔවුන් ඔක්තෝබර් 8 වැනිදා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කර ඇත.



