*රියාද් තානාපති කාර්යාලයෙන් උපදෙස්: අභියාචන වියදම් අනෝජන් විසින්ම දැරිය යුතු බව විදේශ අමාත්‍යාංශය කියයි
ඉස්ලාම් ධර්මය හා මුහම්මද් නබිතුමන් පිළිබදව අවමාන සහගත සටහනක් සිය මුහුණු පොතේ පළ කිරීම නිසා සෞදි අරාබියේ බරපතල දඩුවම් නියම වී සිටින ශ්‍රී ලාංකික දෙමළ තරුණයකු යළි මව්රටට ගෙන්වා ගැනීම සදහා මැදිහත් වන ලෙස එම තරුණයාගේ දෙමාපියන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයාචනය කර තිබේ.
අම්පාර, කල්මුනේ නට්පිටිමුනෙයි පදිංචි කරුවවන් වන තම්බිරාසා සිවරාසා පියා සහ යෝගලෙච්චුමි සිවරාසා මව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත ජුලි 30 වැනිදා යොමු කළ ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ සිය පුතු වන සිවරාසා අනෝජන් සිය මුහුණු පොතෙහි ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් සහ නබිතුමන් සම්බන්ධයෙන් නුසුදුසු සටහනක් තැබීම හේතුවෙන් මේ වනවිට සෞදි අරාබියේ දඬුවම් ලබා සිටින බවයි.
ඔහුට වසර පහක සිරදඬුවමක් සහ රියාල් තිස්ලක්ෂයක වන්දියක් ද අල් අහ්සා අපරාධ අධිකරණයෙන් ජූලි 15 දා නියම කොට තිබේ. දඬුවම ලිහිල් කරවා ගැනීම සඳහා දින 30ක කාලයක් ඇතුලත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
ඒ සඳහා නීතිමය වශයෙන් මැදිහත් වීමට ගෙවිය යුතු සවුදි රියාල් විසිදහසක වියදම දැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.
“වගඋත්තරකරු අභියාචනයක් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, නියමිත කාලය තුල අභියාචනය ගොනු කළ යුතු අතර, නීති කටයුතු සඳහා වන වියදම වගඋත්තරකරු විසින් දැරිය යුතු බව සවුදි අරාබි රාජධානියේ, රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිර්දේශ කර ඇත,” යි විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් විසින් අනෝජන්ගේ පියාට ජූලි 31 දා ලියා ඇති ලිපියක දැක්වේ.
අනෝජන්ගේ මාපිය දෙපල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ තම පුත්‍රයා පත් ඉරණම සිය පවුලේ සාමාජිකයන් දැඩි කම්පාවට සහ ශෝකයට පත් කර ඇති බවයි.
“අනෝජන් අපගේ පවුලේ වැඩිමහල් පුත්‍රයා වේ. අපේ පවුලේ සියලු දෙනා යැපුණේ ඔහුගේ ඉපැයීම් මතය. අප දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින පවුලකි. ඔහු ගෙවිය යුතු වන්දි මුදල ගෙවීමට ප්‍රමාණවත් වත්කමක් අප සතුව නොමැත."
එම නිසා මානූෂිය කාරණාවක් ලෙස සලකා අනෝජන් ලබා දී ඇති දඩුවම් ලිහිල් කර ගැනීමටත්, ඔහු ආරක්ෂිතව මව්රට වන ශ්‍රී ලංකාව වෙත නැවත ගෙන්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ සහාය අපේක්ෂා කරන අනෝජන්ගේ දෙමාපියන් සිය ලිපිය මගින් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ ඔහුව මව් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග වලට පමණක් නොව ඒ සදහා මුල්‍යමය ප්‍රතිපාදන අවශ්‍ය වන්නේනනම් ඒ සදහාද අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි.
“පවුලේ අප මුහුණ දී සිටින මෙම දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන මානුෂිය අරමුණකින් අපට ඔබගේ සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු.“ එස්. අනෝජන් දෙමාපියන් යොමු කළ සන්දේශයේ වැඩි දුරටත් සදහන්ව තිබේ.




