* 2022 දී FBI ආයතනය ලංකා ආණ්ඩුවට දුන් රහසිගත වාර්තාව ..: "තවත් අතිරේක පරීක්ෂණ කිරීමේ තේරුමක් නැහැ!"
* විමර්ශන නිලධාරීන්ට එරෙහි කුමන්ත්‍රණ චෝදනා සහ ජාත්‍යන්තර වාර්තා අතර පාස්කු නාටකය අලුත් වටයකින් රත් වෙයි!
රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහල් ගත කිරීම සහ ඔහුට සහය පළ කරමින් විපක්ෂය කොටුවේ ආරම්භ කළ සත්‍යග්‍රහයත් සමඟ පාස්කු විමර්ශන ක්‍රියාවලිය දැඩි දේශපාලන කුණාටුවකට හසුව ඇති මොහොතක, හිටපු විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ විසින් මෙරට දේශපාලන කරළිය සලිත කරවන සුලු අතිශය සංවේදී ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
2022 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන සඳහා ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහය ඉල්ලා සිටි අවස්ථාවේදී, වොෂින්ටනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත FBI ආයතනය නිල වශයෙන් ලබා දුන් පිළිතුරු ලිපියක් මෙලෙස කරළියට පැමිණ ඇත.
"තවත් පරීක්ෂණ කිරීමේ තේරුමක් නෑ"
අලි සබ්‍රි ප්‍රසිද්ධියට පත් කළ ලේඛනයට අනුව FBI ආයතනය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ, පාස්කු ප්‍රහාරයෙන් පසු සිය නිලධාරීන් 33 දෙනෙකු කොළඹට එවා සාක්ෂි එකතු කිරීම, ඩිජිටල් උපාංග විශ්ලේෂණය සහ වින්දිතයන් ප්‍රශ්න කිරීම ඇතුළු සියලු විමර්ශන කටයුතු නිසි පරිදි නිම කර ඇති බැවින්, නැවත වරක් ඇමරිකාව මැදිහත් වී අතිරේක පරීක්ෂණයක් (Additional investigation) පැවැත්වීමේ කිසිදු තේරුමක් (it would not make sense) නොමැති බවයි. එමෙන්ම 2021 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රහාරයේ සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව නිල වශයෙන් චෝදනා ගොනු කර ඇති බවද එහි සිහිපත් කර ඇත.
මෙම ලේඛනය උපුටා දක්වමින් අලි සබ්‍රි සහ මිලින්ද රාජපක්ෂ ප්‍රශ්න කර සිටින්නේ, ජාත්‍යන්තර විමර්ශන ආයතන පවා කරුණු තහවුරු කර තිබියදී වත්මන් විමර්ශන සිදුවන ආකාරය පිටුපස ඇති සැබෑ චේතනාව කුමක්ද යන්නයි. "කවුද මේ කාව රවට්ටන්න හදන්නේ? සත්‍යය, යුක්තිය සහ නීතිමය ක්‍රියාපටිපාටිය පසෙකලා, දේශපාලන න්‍යායපත්‍ර, පුද්ගලික පළිගැනීම් (Personal vengeance) සහ පටු ස්වාර්ථයන් පෙරදැරි කරගෙන කටයුතු කිරීම පාස්කු ප්‍රහාරයේ සැබෑ වින්දිතයන්ට කරනු ලබන බරපතළම පාවාදීමක්," යැයි ඔවුහු සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා දැඩිව අවධාරණය කරති.
නීතිමය සටන සහ දේශපාලන බලපෑම!
ඊයේ (08) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කරමින් කියා සිටියේ, සුරේෂ් සලේ විමර්ශන මඟහැරීමට සැලසුම්සහගතව උපවාස කරන බවත්, ඒ පිටුපස විපක්ෂයේ දේශපාලන නායකයන් සිටින බවත්ය.
කෙසේ වුවද, සලේ ගේ පාර්ශ්වය සහ සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ මර්දනකාරී නීති හරහා සැකකරුවන් පීඩාවට පත් කිරීම වළක්වා ව්‍යවස්ථාපිත අයිතීන් සුරැකිය යුතු බවයි.
එක් පසෙකින් වින්දිතයන් වෙනුවෙන් නව පරීක්ෂණ ඉල්ලන කතෝලික සභාව සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ හඬත්, අනෙක් පසින් ජාත්‍යන්තර FBI වාර්තා පෙන්වමින් වත්මන් විමර්ශන දේශපාලන දඩයමක් බවට චෝදනා කරන විපක්ෂයේ ස්ථාවරයත් මධ්‍යයේ, ලබන ජූනි 10 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දීමට නියමිත නියෝගය මෙරට ආරක්ෂක සහ දේශපාලන යාන්ත්‍රණයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විස්වාසය පළකරති.




