පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු FBI ආයතනය සතු විමර්ශන වාර්තා සහ නඩුවලට අදාළ සාක්ෂි මෙරට අධිකරණ ක්‍රියාවලියට ලබා ගැනීමට රජය ක්‍රියා කරන්නේද යන්න වහාම රටට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අද (18) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ දේශීය විමර්ශනවල අඩුපාඩු පවතින බවට සමාජය තුළ දිගින් දිගටම සංවාදයක් පවතී. එවැනි පසුබිමක, ලෝකයේ ඉහළම විමර්ශන ආයතනයක් වන FBI ආයතනය වසර දෙකක් පුරා සිදුකළ පරීක්ෂණවලින් රැස්කළ නිල සාක්ෂි මෙරටට ගෙන්වා නොගැනීම ගැටලුසහගතය.
විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුව:
වත්මන් රජය ප්‍රහාරය පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කර තිබේ. එහෙත් පවතින ප්‍රබලතම විදේශීය විද්‍යාත්මක සාක්ෂි මඟහැර යාම හරහා වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව එජාපය පෙන්වා දෙයි.
ප්‍රධාන පසුබිම: 2019 දී සිදුවූයේ කුමක්ද?
2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු, මෙරට විමර්ශන අංශවලට එවැනි මරාගෙන මැරෙන බෝම්බ මාලාවක් සහ එහි ජාත්‍යන්තර ජාලය පිළිබඳව සොයා බැලීමට ප්‍රමාණවත් තාක්ෂණික හා විශේෂඥ දැනුමක් තිබුණේ නැත.
රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීම:
එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමරිකානු රජයෙන් පූර්ණ විමර්ශනයක් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහය ද සහතික කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම:
අප්‍රේල් 22 දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රනිල් වික්‍රමසිංහ අතර පැවති දුරකථන සංවාදයෙන් පසු, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමරිකාව ලංකාව සමඟ ස්ථිරවම/නොසැලී සිටගන්නා බව ට්‍රම්ප් නිල වශයෙන් ට්විටර් (X) පණිවුඩයකින් ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ මෙහෙයුම:
CID, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය සමඟ එක්ව FBI ආයතනය පුළුල් විමර්ශනයක් සිදුකර, එහි වාර්තාවක් මෙරට බලධාරීන්ට භාර දුන්නේය.
ඇමරිකානු අධිකරණයේ නඩුව:
2020 නොවැම්බර් 12 දින FBI විශේෂ නියෝජිත මෙරිලී ආර්. ගොඩ්වින් විසින් පිටු 71ක දිවුරුම් ප්‍රකාශයක් ඇමරිකානු උසාවියට ඉදිරිපත් කළේය. ඒ අනුව මොහොමඩ් නවුෆර්, මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ අපරාධ නඩුවක්ද ගොනු කෙරිණි.
මතු වන ප්‍රශ්නය සහ ඊළඟ පියවර
එක්සත් ජාතික පක්ෂය වත්මන් රජයෙන් සෘජු ප්‍රශ්න තුනක් අසයි.
1- ප්‍රහාරය පිළිබඳ නැවත විමර්ශන කරන රජය, FBI සතු පිටු 71 ක දිවුරුම් ප්‍රකාශය සහ අනෙකුත් සාක්ෂි ලබා ගැනීමට ඇමරිකානු රජයෙන් නිල වශයෙන් ඉල්ලා තිබේද?
2- එවැනි ඉල්ලීමක් කළේ නම් ඊට ලැබුණු පිළිතුර කුමක්ද?
3- එසේ ඉල්ලා නොමැති නම්, එරෙහි වන දේශපාලන හෝ රාජ්‍ය තාන්ත්‍රික හේතුව කුමක්ද?
දේශපාලන වාසි තකා පාස්කු ප්‍රහාරය භාවිත කරනු වෙනුවට, සත්‍යය අනාවරණය කර ගැනීමට නම් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සතු මෙම නිල සාක්ෂි වහාම ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ට ලබාගත යුතු බව එජාපය අවධාරණය කරයි.




