"සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත්තේ පාතාල කල්ලියක් මර්දනය කරනවා වගේ - පොලිස් රාජ්‍යයක ලක්ෂණ!"
"සහනාධාර කපන්න එපා කියා IMF එකෙන් ඉල්ලුවා: වදහිංසා ගැන සොයන්න එක්සත් ජාතීන්ගේ කමිටුවකුත් ලංකාවට!"
ජාත්‍යන්තර නීතියට හා මානව හිමිකම්වලට අනුකූල ත්‍රස්ත විරෝධී පනතක් වහා ඉදිරිපත් නොකළහොත්, ශ්‍රී ලංකාවට හිමි GSP ප්ලස් (GSP+) බදු සහනය අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.
කොළඹදී අද (22) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම සහනය අහිමි වුවහොත් එය රටේ ආර්ථිකයට දරාගත නොහැකි පහරක් වනු ඇති බවයි.
රජය පොලිසිය ලවා දේශපාලන ක්‍රියාකාරීන් දරුණු ලෙස අත්අඩංගුවට ගනිමින් රට පොලිස් රාජ්‍යයක් කරා ගෙන යන බවත්, මෙවැනි මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනයන් නිසා ජාත්‍යන්තර සම්මුතීන් බිඳ වැටී රට තවදුරටත් අගාධයට ඇද වැටෙන බවත් මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දී ජී.එල්. පීරිස් මෙසේද කීය.
'සුගීශ්වර බණ්ඩාර කියන්නේ සාහසික අපරාධකාරයෙක් නොවේ''
අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය භාරව සිටින නිලධාරීන් හමුවීමට ගියා. ඉන්ධන සම්බන්ධයෙන් අප රටේ ජනතාවට ලබා දී තිබෙන සහනාධාර කප්පාදු කිරීමට හෝ සම්පූර්ණයෙන් නතර කිරීමට රජයට උපදෙස් දෙන්නට එපා යැයි අප එහිදී ඉල්ලා සිටියා. එය කලොත් ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමකට ඉහළ යන බවද අප දැනුම් දුන්නා.
අප මූල්‍ය අරමුදල සමග කළේ ඉතා කාලෝචිත සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් දවස් දෙකකට පසුව මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් අප රටට පැමිණියා.
අප එතනින් නික්ම යන විට හරි පුදුම දෙයක් සිදු වුණා. සුගීෂ්වර බණ්ඩාර මැතිතුමා අත්අඩංගුවට ගත්තා. පාර හරස් කර සුගීශ්වර බණ්ඩාර වාහනයෙන් එළියට ගෙන අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ හරියට පාතාල කල්ලියක් මර්දනය කිරීම සඳහා කළ මෙහෙයුමක් ආකාරයටයි. සුගීශ්වර බණ්ඩාර කියන්නේ සාහසික අපරාධකාරයෙක් නොවේ. දේශපාලන පක්ෂයක නායකයෙක්. අපගේ දැඩි විවේචනයට ලක්වන කාරණය වන්නේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කළ ආකාරයයි. රජයේ පොලිසිය පාවිච්චි කරලා ඔවුන් මේ විදිහට හැසිරුණා.
ඒ වගේම සුගීශ්වර බණ්ඩාර මහතා සමග ඒ වාහනයේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක බිනෝයි හෙට්ටිආරච්චිත් අත්අඩංගුවට ගත්තා. ඔහු කිසිම චෝදනාවක් නැතුව පැය පහක් හිර කරගෙන සිටියා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒ අත්අඩංගුවට ගැනීම සාපරාධී වරදක්. ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පැවරීමට අවශ්‍ය පසුබිම අප දැනටමත් සකස් කරගෙන යනවා. මේ පුද්ගලයෙකුට සම්බන්ධ දෙයක් නොවේ. මේ අපේ සමාජයේ මූලික මිනිස් අයිතිවාසිකම්මෙ ය අප චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට සෘජුව බලපාන කාරණයක්. මෙය පොලිස් රාජ්‍යයක්, ආඥාදායකත්වයක් කරා යන ගමනක් බව කිව යුතුයි. අප සැමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් අයිතීන් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂය සංවිධානය කිරීමේ නිදහස තිබෙනවා.
මෙවැනි දේ තවත් ඉදිරියට ඇතිවීමට අවසර ලබා දෙනවා නම් නිශ්ශබ්දව බලා සිටිනවා නම් අවම වශයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් අතු ගෑවී යනවා.
''ජාත්‍යන්තර සම්මුති 27කට අනුගතව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා''
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් නොයෙක් දුක් ගැහැට වලට ලක් වෙමින් අප රටට එවන ඩොලර් විශාල ලෙස අඩුවී තිබෙනවා.
අපගේ අපනයන ආදායම ඉතා වැදගත් දෙයක්. අපනයන භාණ්ඩ විදේශයන්ට යවා ලැබෙන අපනයන ආදායම පවතින තත්ත්වය තුළ තීරණාත්මක වැදගත්කමකින් යුක්තයි. බටහිර යුරෝපයේ අපේ විශාල වෙළඳ පොළවල් තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ බටහිර යුරෝපයේ වෙළඳ පොළවල් වලට යැවීම සම්බන්ධයෙන් අපට අසාමාන්‍ය සහන සහ වරප්‍රසාද තිබෙනවා. ඒ GSP ප්ලස් වැඩපිළිවෙලයි. අපේ සියලු අපනයන භාණ්ඩ කිසිදු තීරු බද්දක් ගෙවන්නේ නැතිව බටහිර යුරෝපයේ වෙළෙඳපොල වලට යැවීමේ අයිතිය එමගින් අපට ලැබෙනවා. ඇඟලුම් භාණ්ඩ, තේ, මත්ස්‍ය නිෂ්පාදන, මුතු මැණික්, සම් භාණ්ඩ,කුළු බඩු ඇතුළු මේ සියල්ල සඳහා මේ සහනය අදාල වෙනවා.ලබන වසරේ යුරෝපා සංගමයට අලුත් අයැදුම් පත්‍රයක් යොමු කිරීමට සිදුවෙනවා. මේ අද්විතීය සහන අපට ලැබෙන්නේ එක් මූලික කොන්දේසියකට යටත්වයි. එනම් ජාත්‍යන්තර සම්මුති 27කට අනුගතව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා. මේ සම්මුති වලින් ප්‍රධාන සම්මුතිය වන්නේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියයි.
යුරෝපා සංගමයේ නියෝජනය කරන තානාපතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ පවසන්නේ ත්‍රස්ත විරෝධී පනත මේ විදියටම ක්‍රියාත්මක කරනවා නම් අප අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුති වල වගන්ති අමු අමුවේ උල්ලංඝනය වන බවයි. එහෙම වුණොත් ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට යුරෝපා සංගමයට පුළුවන් කමක් ඇති වන්නේ නැහැ. ඒ නිසා ත්‍රස්ත විරෝධී පනත සුදුසු සංශෝධන වලට බඳුන් කළ යුතුයි. දැන් පවතින්නේ ඉතා පැරණි පනතක්.
අලුත් පනතක් නිර්මාණය කරන බවට මා විදේශ අමාත්‍යවරයා ලෙස සිටියදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලිඛිත පොරොන්දුවක් දුන්නා.
මාස හයකට පෙර වත්මන් අධිකරණ අමාත්‍යවරයා අලුත් පනතක් ඉදිරිපත් කළා. ඊට හැම පැත්තෙන්ම දැඩි විවේචන එල්ල වුණා. ඒ යෝජිත පනත මුල් පනතට වඩා අහිතකර බව ඒ විවේචන වලින් කියැවුණා. මේ පනත නීතිඥයන්, සිවිල් සමාජය සහ වෘත්තිකයන්ගේ දැඩි විවේචනයට ලක් වූ පනතක් බව කිව යුතුයි. මේ පනත මේ විදියට නීති ගත කරන්න බැරි බව ආණ්ඩුව පිළිගත්තා. ඒ අනුව වෙන පනතක් සකස් කරන බව ආණ්ඩුව කිව්වා.
ඒ අලුත් පනතේ අන්තර්ගතය කුමක්ද ?
ශාරීරික වද හිංසා වලින් තොරව අපේ ජීවිත ගත කිරීමට ජාත්‍යන්තර නීතිය අනුව සැමට අයිතියක් තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුති තිබෙනවා.මේවාට අනුගත වීමේ නීතිමය බැඳීමක් ශ්‍රී ලංකාවට තිබෙනවා.ශාරීරික වද හිංසා පිළිබඳ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කර වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ අනු කමිටුවක් මේ වන විට ලංකාවට පැමිණ තිබෙනවා. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද ශාරීරික වද හිංසා එක හෙලා නීති විරෝධී බව දක්වා තිබෙනවා.
රැඳවියන්ටත් මේ අයිතිය තිබෙනවා. බන්ධනාගාර සහ පොලිසිය භාරයේ සිටින සියලු රැඳවියන්ටත් ඒ රැකවරණය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිද පවතිනවා. ඒවා උල්ලංඝනය කළොත් ලංකාවට භයානක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවෙනවා යනුවෙන්ද ජී.එල්.පීරිස් වැඩිදුරටත් පැවැසීය.




