දේශපාලන බලය මාරු වන සෑම අවස්ථාවකදීම කලින් ආණ්ඩුව එකඟ වූ මහා පරිමාණ විදෙස් ව්යාපෘති එක රැයින් හකුළා දැමීම මෙරට හුරුපුරුදු දේශපාලන ක්රමවේදයක් බවට පත්ව තිබේ. ආර්ථික පරිවර්තනයක් පොරොන්දු වෙමින් අත්සන් තබන මෙවැනි ගිවිසුම් දේශපාලන පීඩනය හමුවේ අහෝසි කළද, ඒ වෙනුවෙන් ජාත්යන්තරයට ගෙවීමට සිදුවන දඩය හෝ වන්දිය එම තීන්දු ගත් දේශපාලනඥයන්ගේ සාක්කුවෙන් බැහැර නොවේ.
අවසානයේ අධික බදු බරක් ලෙසත්, බිඳවැටුණු පොදු ප්රවාහනයක් ලෙසත් මේ සියලු පාඩු පියවන්නේ මෙරට සාමාන්ය බදු ගෙවන ජනතාවයි.
ජපානයේ සැහැල්ලු දුම්රියට අත්වූ ඉරණම
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට තිරසාර විසඳුමක් ලෙස සැලසුම් කෙරුණේ මාලඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය (LRT) ව්යාපෘතියයි. ජපාන ජයිකා (JICA) ආයතනය ඉතා සහනදායී පොලී අනුපාත යටතේ ජපන් යෙන් බිලියන 246.6ක ණය පහසුකමක් මේ සඳහා ලබාදීමට එකඟව තිබිණි.

2020 වසරේදී මෙම ව්යාපෘතිය හදිසියේම අත්හිටුවීමට රජය තීරණය කළේ එය ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව පවසමිනි. ව්යාපෘතියේ මූලික ඉංජිනේරු හා උපදේශන කටයුතු වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන 10.6ක මුදල කිසිදු ඵලක් නොමැතිව අපතේ ගිය අතර, ගිවිසුම කඩකිරීම වෙනුවෙන් ජපානයට තවත් යෙන් මිලියන 189.7ක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.03ක් සහ රුපියල් මිලියන 108.7ක වන්දි මුදලක් ගෙවීමටද සිදුවිය.
අදටත් මහා මාර්ගයේ පැය ගණන් නාස්ති වන ජනතාවට ඉතිරි වූයේ අහිමි වූ දුම්රිය මාර්ගයක් සහ ගෙවා නිමකළ යුතු ණය කන්දක් පමණි.
වෘත්තීය සමිති විරෝධය සහ වරායේ පැටලැවිල්ල
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) ඉන්දියාව සහ ජපානය එක්ව සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබූ ත්රෛපාර්ශ්වික එකඟතාව වෘත්තීය සමිති විරෝධතා හමුවේ නතර විය. ජාතික සම්පත් විදේශයන්ට පවරා නොදෙන බවට එදා නැගුණු හඬ හමුවේ එම ගිවිසුම අහෝසි කෙරිණි.
ඉන්පසු බටහිර පර්යන්තය (WCT) ඉන්දියාවේ අදානි සමාගමට සියයට 85ක කොටස් අයිතියක් සහිතව වසර 35ක බදු පදනමකට ලබාදීමට පියවර ගැනිණි.

ආරම්භක ගිවිසුමට එරෙහිව නැගුණු විරෝධතාවලින් පසුව ඇති කරගත් මෙම නව ගනුදෙනුවෙන් ශ්රී ලංකා වරාය අධිකාරියට හෝ රටට වඩාත් වාසිදායක මූල්ය හෝ උපායමාර්ගික වාසියක් අත්වූයේද යන්න ස්වාධීන ආර්ථික විගණනයකින් තහවුරු විය යුතුව තිබේ.
ආපසු හරවා යැවූ ඇමෙරිකානු ප්රදානය
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) හරහා මෙරටට හිමිවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 480ක මුදල යළි ආපසු ගෙවිය යුතු ණයක් නොව, පූර්ණ ප්රදානයකි. ඉන් ඩොලර් මිලියන 350ක් වෙන්ව තිබුණේ මෙරට පොදු ප්රවාහන හා මාර්ග ජාලය නවීකරණය කිරීමටයි.
දේශපාලන වාසි තකා ඇති කළ දැඩි සමාජ විරෝධය හමුවේ 2020 දෙසැම්බර් මාසයේදී එම ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කළ අතර, ඒ ආධාර මුදල් වෙනත් රටවල් වෙත යොමු කෙරිණි. කිසිදු ණය බරකින් තොරව පොදු පහසුකම් සංවර්ධනය කරගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් රටට අහිමි වූයේ ඒ අයුරිනි.

මහජන මුදලට වගකියන්නේ කවුද?
විදෙස් ආධාර හෝ ආයෝජන රටට පැමිණීමේදී ඒවායේ විනිවිදභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු විය යුතුය යන්න විවාදයකින් තොර කරුණකි. එහෙත් දේශපාලන වාසි තකා කරුණු අධ්යයනයකින් තොරව ජාත්යන්තර ගිවිසුම් අත්හැරීමෙන් සිදුවන ආර්ථික පාඩුව ගණනය කිරීමට මෙතෙක් ස්වාධීන ජාතික යාන්ත්රණයක් සකස්වී නොමැත.
එක් ආණ්ඩුවක් ගිවිසුම් අත්සන් කරද්දී ඊළඟ ආණ්ඩුව ඒවා අවලංගු කිරීමත්, ඉන්පසු තවත් ආණ්ඩුවක් වැඩි මිලක් ගෙවා ඒවා නැවත ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් නිසා සිදුවන්නේ රටේ ආර්ථික විශ්වසනීයත්වය මුළුමනින්ම බිඳවැටීමයි.
තීන්දු ගන්නා පාර්ශ්ව කිසිදු වගවීමකින් තොරව නිදහස් වන විට, එම වැරදි තීරණවල අවසන් බිල්පත පියවීමට සිදුව ඇත්තේ මෙරට දුප්පත් පොහොසත් සමස්ත ජනතාවටය.
(සටහන | සම්පත් ධීරසේකර)



