ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව
ශ්රී ලංකා සෞඛ්ය ක්ෂේත්රය කම්පනයට පත්කළ ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ප්රසම්පාදන නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ සාක්ෂි විභාගය අද (26) පූර්ණ වශයෙන් අවසන් කෙරිණි.
ප්රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුවේ විත්තිවාචකය කැඳවීම ලබන 29 වැනිදා සිදුකිරීමට දින නියම විය.
පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු මගින් චෝදනා විභාගයට ගැනීමට ප්රමාණවත් සාක්ෂි සනාථ වී ඇති බව නිරීක්ෂණය කළ විනිසුරු මඩුල්ල, විත්තියේ නිදහසට කරුණු විමසීමේ අදියර ආරම්භ කිරීමට තීරණය කළේය.
රුපියල් ලක්ෂ 1,444ක වංචා කුමන්ත්රණය
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන ව්යාජ ද්රව්ය අඩංගු කුප්පි 6,195ක් වෛද්ය සැපයුම් අංශයට සපයා රජයේ මුදල් රුපියල් කෝටි 14කට අධික මුදලක් සාපරාධී සාවද්ය පරිහරණය කළ බවට නීතිපතිවරයා අධිචෝදනා 13ක් ගොනුකර ඇත.
හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත, අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක, ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපති වෛද්ය විජිත් ගුණසේකර ඇතුළු නිලධාරීන් සහ සැපයුම්කාර සමාගම් හිමිකරු මෙහි ප්රධාන විත්තිකරුවෝ වෙති.
පැමිණිල්ල මෙම නඩුව තහවුරු කිරීම සඳහා සාක්ෂිකරුවන් 350 දෙනෙකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 300කට ආසන්න ප්රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
විත්තිකරුවන්ගේ නීතිමය තත්ත්වය සහ පෙනී සිටීම්
ප්රමිතියෙන් තොර එන්නත් තොගය සැපයූ බව කියන 'අයිසොලෙස් බයෝටෙක් ෆාමා' සමාගමේ හිමිකරු සුගත් ජනක ප්රනාන්දු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. හිටපු අමාත්යවරයා ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු දැනට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටියි.
විදේශගතව සැඟව සිටින ප්රසම්පාදන කමිටු සාමාජික වෛද්ය ජයනාත් බුත්පිටිය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර රතු නිවේදන (Red Notices) ක්රියාත්මක කර තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සහ ජ්යෙෂ්ඨ අධිනීතීඥ කලන කොතලාවල මහතා පෙනී සිටියහ. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාරත් ජයමාන්න, නලින් ලද්දුවෙහෙට්ටි, ප්රියන්ත නාවාන සහ අනුජ ප්රේමරත්න යන මහත්වරුන් ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් කරුණු දැක්වූහ.
විමර්ශනයේ කාලරේඛාව සැකෙවින්
* 2023 ඔක්තෝබර්: 'අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය' සංවිධානය CIDයට සහ අල්ලස් කොමිසමට මුල් පැමිණිල්ල ඉදිරිපත් කිරීම.
* 2023 ඔක්තෝබර් 13: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම.
* පෙබරවාරි 06: පූර්ණ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීම.
* සැප්තැම්බර් 16: කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර භාරදීමෙන් පසු දිනපතා නඩු විභාගය ආරම්භ වීම.



