කොළඹ කොටුව ක්රිෂ් (Krrish) සමාගමේ ව්යාපෘතියට අදාළ රුපියල් මිලියන 70ක මුදල් ගනුදෙනුවක් සම්බන්ධ නීතිමය විමර්ශනය නව වටයකින් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
නඩුවේ සිව්වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (23) ප්රතික්ෂේප කළේය. ඒ අනුව නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
මිලියන 70 ගෙවූ වාර ගණන ගැන අධිකරණයේ ප්රශ්න
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂවරිය කරුණු දක්වමින්, අදාළ රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී පිරිනමා ඇති බව බැංකු වාර්තාවලින් තහවුරු වී ඇතැයි පැවසුවාය.
මීට පෙර එම ගෙවීම් අවස්ථා හතරකදී සිදුවූ බවට සඳහන් කර තිබූ බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. විමර්ශන නිලධාරීන් තහවුරු කළේ වැඩිදුර පරීක්ෂණ අනුව එය අවස්ථා තුනකදී ගෙවා ඇති බව අනාවරණය වූ බවයි.
මෙම ගනුදෙනුව සිදුවූ සමයේ ක්රිෂ් ට්රාන්ස්වර්ක් සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ තවත් කාන්තාවක් නඩුවේ හයවැනි සැකකාරිය ලෙස නම් කර ඇති අතර, ඇය වෙත 149 වගන්තිය යටතේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තු ලේඛන සහ අත්අකුරු පරීක්ෂාව
සැකකරුවන් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් බියකින් තොරව ඉදිරිපත් වූ සමාගමේ සේවකයින් කිහිපදෙනෙකුගෙන් නව ප්රකාශ සහ ලේඛන ලබාගත් බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේය.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා අදාළ වකවානුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයක් සමග ඔහුගේ අත්අකුරු සාම්පල සංසන්දනය කර පරීක්ෂා කිරීමට නියමිතය. ඊට අමතරව වේල්ලවීදිය ප්රාදේශීය ලේකම්, ආයෝජන මණ්ඩලය (BOI), ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ HSBC බැංකුව හරහා ඉදිරියේදී සාක්ෂි සටහන් කරගන්නා බව නිලධාරීහු සඳහන් කළහ.
"මේක දේශපාලන අවශ්යතාවක්" - ජනාධිපති නීතිඥ අලි සබ්රි
සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයේදී මෙම විමර්ශන ක්රියාවලිය දැඩි ලෙස ප්රශ්න කරමින් තර්ක කළේය.
විමර්ශන කටයුතු අවසන් නොකර අසීමිතව ඇදගෙන යාම සහ ඇතැම් සැකකරුවන්ට පමණක් තෝරාගත් අයුරින් 149 වගන්තිය යටතේ සහතික නිකුත් කිරීම යුක්තිසහගත නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, මෙම සම්පූර්ණ ක්රියාදාමය දේශපාලන පළිගැනීමේ අවශ්යතාවක් මත මෙහෙයවන්නක් බව ප්රකාශ කළේය.
දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් ප්රධාන මහේස්ත්රාත්වරයා, විමර්ශන තවමත් ක්රියාත්මක මට්ටමේ පවතින බැවින් සැකකරුවන් දෙදෙනාම ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කළේය.



