පාරිසරික සහ අනවසර ඉදිකිරීම් නඩුවක් ත්‍රස්තවාදී කඳවුරක් ලෙස හුවාදැක්වූ බවට විමර්ශනවලදී හෙළිවෙයි
කිලිනොච්චිය, අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් පලෙයි රක්ෂිතය තුළ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය හා ප්‍රවෘත්ති සාකච්ඡා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බව කියන පුද්ගලයෙකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (CTID) මගින් අත්අඩංගුවට ගත් බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි රඹුකේවෙල අධිකාරිගේ සංගීත් ජයසේකර නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය. සැකකරු තමන් 'අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ' ලෙස හඳුන්වා දෙමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, ඔහු සන්තකයේ තිබූ ජාතික හැඳුනුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් නොකරන ලද ව්‍යාජ එකක් බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මහජන කැළඹීමක් හා සාමයට බාධාවක් විය හැකි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 යන වගන්ති යටතේ මොහුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. මීට අමතරව, අදාළ මාධ්‍ය හමුව විකාශය කළ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවල සංස්කරණය නොකළ දර්ශන (Raw footage) විමර්ශන සඳහා ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අදාළ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇත.
රක්ෂිතයේ ඇත්තටම සිදුවූයේ කුමක්ද?
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැහැදිලි කිරීමක් සිදුකළ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, අදාළ ප්‍රදේශයේ කිසිදු ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් නොමැති බවත්, එය රක්ෂිත ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම හා ඉදිකිරීමක් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලුවක් බවත්ය.
1919 අංක 70/64 දරන ගැසට් පත්‍රය මගින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති කන්නගිපුරම් බටහිර ග්‍රාම නිලධාරී වසමේ 'මුක්කන්පන්' ප්‍රදේශයේ පිහිටි මෙම භූමිය, 2025 වසරේ සිට ත්‍යාගරාසා ගුනදීපන් නමැති ව්‍යාපාරිකයෙකු විසින් අක්කර 20ක් දක්වා එළිපෙහෙළි කරමින් කෝමාරිකා සහ එළවළු වගාවක් පවත්වාගෙන ගොස් තිබේ. අනතුරුව 2026 ජනවාරි මාසයේදී එහි මහල් ගොඩනැගිල්ලක් ඉදිකර කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාමට උත්සාහ කර ඇත.
අධිකරණයේ විභාග වන නඩු සහ නීතිමය පියවර
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය මැදිහත්වී මෙම අනවසර ඉදිකිරීම්, රක්ෂිත හානි කිරීම් සහ වැලි කැණීම් සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව දැනටමත් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 7ක් ගොනුකර තිබේ. 2026 පෙබරවාරි 06 වැනිදා එම භූමියට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති අතර, පසුගිය ජූලි 24 වන දින වන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබිණි.
ඉඩම් සහ පාරිසරික නීති උල්ලංඝනය කිරීමක් මුල්කරගනිමින් ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාවලියක්, සමාජ මාධ්‍ය ඔස්සේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් 'LTTE පුහුණු කඳවුරක්' ලෙස අසත්‍ය ලෙස හුවාදැක්වීමට උත්සාහ කර ඇති බව විමර්ශන නිලධාරීහු මෙන්ම රජයේ බලධාරීහුද අවධාරණය කරති.




