මහනුවර, ගාල්ල සහ යාපනය දක්වා සේවාවන් ව්‍යාප්ත කිරීමට පියවර
නවීන පොදු ප්‍රවාහන පද්ධතියක් උදෙසා Metro බස් සේවාව
නාගරික ප්‍රවාහන පද්ධතිය විධිමත් කිරීමේ සහ මහජනතාවට කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිරිපත් කළ Metro බස් රථ සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ආරම්භ කිරීමට නියමිතය. නාගරික මාර්ග තදබදය අවම කිරීම, පෞද්ගලික වාහන භාවිතය ලිහිල් කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මගී සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වේ.
මේ වන විට Metro බස් සමාගම සතුව පතුළ පහත් (Low-floor) බස් රථ 121ක් පවතින අතර, ඊට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලැබුණු බස් රථ 10ක්, ජපානයෙන් ලැබුණු ප්‍රදානයන්ට අදාළ බස් රථ 7ක් සහ රජය මගින් අලුතින් ගෙන්වන ලද බස් රථ 104ක් ඇතුළත් වේ. මෙම වසර අවසන් වීමට පෙර සමස්ත බස් රථ ඇණිය 200 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව Metro බස් සමාගමේ සභාපති යූ.පී. තිලකරත්න තහවුරු කරයි.
මහනුවර, ගාල්ල සහ යාපනයටත් ව්‍යාප්තිය සහ කැබිනට් අනුමැතිය
කොළඹ නගරයෙන් ඔබ්බට පිහිටි ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් Metro බස් රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය යන නගරවල ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. එම පළාත් සඳහා වන මගී ඉල්ලුම සපයා ලීම වෙනුවෙන් බස් රථ ඇණිය තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව, 2026 මාර්තු 06 වන දින බස් රථ 100ක් මිලදී ගැනීමට පිරිනමන ලද කොන්ත්‍රාත්තුවට යටත්ව, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් 50%ක නැවත ඇණවුමක් (Repeat Order) ලෙස තවත් පතුළ පහත් සුවපහසු බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඩිජිටල් තාක්ෂණය සහ ගමන් මාර්ග ජාලය
මගීන්ට පහසුවෙන් ගමන් මාර්ග හඳුනාගැනීම සඳහා විශේෂිත වර්ණ සංකේත සහ 'CM' කේත පද්ධතියක් හඳුන්වා දී ඇත. ඒ අනුව ප්‍රධාන මාර්ග කිහිපයක් ඔස්සේ සේවාවන් ආරම්භ කෙරේ:
CM 01 (නිල් මාර්ගය): මාකුඹුර සිට පන්නිපිටිය, රාජගිරිය හරහා පිටකොටුව දක්වා (කි.මී. 23.3)
CM 02 (කහ මාර්ගය): මිලේනියම් සිටි සිට මාලඹේ, රාජගිරිය හරහා කොළඹ කොටුව දක්වා (කි.මී. 22.3)
CM 03 (ඉන්ඩිගෝ මාර්ගය): කඩවත සිට බොරැල්ල හරහා මාකුඹුර දක්වා (කි.මී. 34.8)
CM 04 (තැඹිලි මාර්ගය): දෙමටගොඩ සිට මොරටුව හරහා පානදුර දක්වා (කි.මී. 28.7)
CM 05 (දම් මාර්ගය): බත්තරමුල්ල සිට වත්තල හරහා ඒකල දක්වා (කි.මී. 29.9)
CM 06 (ලා කොළ මාර්ගය): කොල්ලුපිටිය වටරවුම් මාර්ගය (කි.මී. 14)
CM 08 (තද කොළ මාර්ගය): කැස්බෑව සිට පිළියන්දල, නාරාහේන්පිට හරහා පිටකොටුව දක්වා (කි.මී. 35.7)
නිට්ටඹුව සිට කොළඹ වරාය නගරය දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත CM 07 ගමන් මාර්ගය ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
නවීන පහසුකම් සහ ගාස්තු ක්‍රමවේදය
සම්පූර්ණයෙන්ම වායුසමනය කරන ලද මෙම බස් රථ ආබාධිත පුද්ගලයන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුවෙන් ගොඩවිය හැකි පරිදි පතුළ පහත් (Low-floor) තාක්ෂණයෙන් යුක්තව සකසා ඇත. පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් 24/7 ක්‍රියාත්මක CCTV පද්ධති සවිකර තිබේ.
මගීන්ට LMT GO App ජංගම යෙදවුමේ QR කේතය භාවිතයෙන් හෝ Credit/Debit කාඩ්පත් මගින් ගාස්තු ගෙවීමේ පහසුකම සලසා ඇත. එමෙන්ම, සතිඅන්ත දිනවල (සෙනසුරාදා සහ ඉරිදා) රුපියල් 799ක ස්ථාවර ගාස්තුවකට ඕනෑම මාර්ගයක සීමාරහිතව ගමන් කිරීමේ විශේෂ පැකේජයක් ද හඳුන්වා දී ඇති අතර, අදාළ ටිකට්පත ලබාගන්නා වැඩිහිටියෙකු සමග ගමන් කරන වයස අවුරුදු 12ට අඩු දරුවන්ට නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවේ.
සබැඳි ලිපියක් :
2029 වෙනකොට ලංකාවේ ලුක් එක... | Mahesh Hapugoda




