රෝග සුව කිරීමට පමණක් නොව, මාන අටක පූර්ණ සුවතාව සහ යටිතල පහසුකම් නඟාසිටුවීමට ඒකාබද්ධ ජාතික මෙහෙයුමක්
නාගරික මහල් නිවාස ආශ්‍රිත ප්‍රජාවගේ සෞඛ්‍ය හා ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගනිමින් හඳුන්වා දෙනු ලබන නව්‍ය "සුවතා මධ්‍යස්ථාන" වැඩසටහනේ පළමු අදියර කොළඹ ග්‍රෑන්ඩ්පාස්, සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (24) නිල වශයෙන් ආරම්භ කෙරිණි. නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "Metro Uplift" ජාතික වැඩසටහනට සමගාමීව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
මෙම සමාරම්භක අවස්ථාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ප්‍රතිකාරයෙන් ඔබ්බට ගිය පූර්ණ සුවතා ප්‍රවේශයක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මූලික නිර්ණායකයන්ට අනුව, සෞඛ්‍යය යනු හුදෙක් රෝගවලින් තොරවීම පමණක් නොව කායික, මානසික හා සමාජීය යහපැවැත්මේ පූර්ණ එකතුවකි. එම සංකල්පය ප්‍රායෝගික තලයට ගෙන එමින්, මෙම සුවතා මධ්‍යස්ථාන මඟින් රෝග නිවාරණය මෙන්ම ජනතාවගේ දෛනික ජීවන රටාවේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, බෝ නොවන රෝග (NCDs) සහ බෝවන රෝග කල්තියා හඳුනාගැනීම, පෝෂණ හා මානසික සුවතා වැඩසටහන්, මාතෘ හා ළමා සෞඛ්‍යය, වැඩිහිටි සහ නව යොවුන් සෞඛ්‍ය සේවා, අක්ෂි සායන මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක වේ. ඊට අමතරව සාම්ප්‍රදායික ආහාර රටා ප්‍රවර්ධනය, යෝගා සහ භාවනා, සංගීත චිකිත්සාව, ආයුර්වේද සහ කටු චිකිත්සාව වැනි සාකල්‍ය (holistic) සුවතා සේවාවන් ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
නාගරික සෞඛ්‍ය අභියෝග හා ජාත්‍යන්තර අත්දැකීම්
සමාරම්භක අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පෙන්වා දුන්නේ, දත්ත අනුව මෙරට නාගරික ජනගහනයේ සෞඛ්‍ය තත්ත්වය තවමත් අපේක්ෂිත මට්ටමට ළඟා වී නොමැති බවයි. මහල් නිවාස ආශ්‍රිත සීමිත ඉඩකඩ හා වෙනස් වන ජීවන රටාව හමුවේ පැනනඟින සෞඛ්‍ය ගැටලු ජය ගැනීම සඳහා ජාත්‍යන්තරව සාර්ථක වූ නාගරික සෞඛ්‍ය ක්‍රමවේද අධ්‍යයනය කර මෙරටට ගැලපෙන පරිදි යොදාගැනීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
"සුවතාවය යනු එක් පැතිකඩක් පමණක් නොවේ. කායික, මානසික, සමාජීය මෙන්ම අධ්‍යාත්මික ආදී මාන අටක් ඔස්සේ සමස්ත ප්‍රජාවගේම ජීවන රටාව යහපත් දිශාවකට යොමු කිරීම අපගේ අරමුණයි. බෝ නොවන රෝග වසංගතයක් සේ ව්‍යාප්ත වන යුගයක, ප්‍රතිකාර පසෙකලා රෝග නිවාරණයට මුල්තැන දිය යුතුයි," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
භෞතික සංවර්ධනය සහ ප්‍රජා සවිබලගැන්වීම
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මෙහිදී ප්‍රකාශ කළේ, මහල් නිවාස ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ක්‍රියාත්මක "Metro Uplift" වැඩසටහන සමඟ මෙම සෞඛ්‍ය ප්‍රවේශය ඉතා මැනවින් බද්ධ වන බවයි.
නිවාස සංකීර්ණවල අක්‍රිය වී ඇති විදුලි සෝපාන පිළිසකර කිරීම, ගිනි නිවීමේ උපකරණ යාවත්කාලීන කිරීම ඇතුළු භෞතික යටිතල පහසුකම් සංවර්ධනයත්, ඒ සමඟම ප්‍රජා සවිබලගැන්වීමත් මෙම ජාතික වැඩපිළිවෙළ හරහා සමාන්තරව සිදු කෙරේ.
සෞඛ්‍ය සේවාවෙන් ඈත්ව සිටි පිරිස් වෙත ළඟාවීම
නිවාස ඒකක 546කින් සහ 1500කට අධික ජනගහනයකින් යුත් සිරිමුතු උයන පරිශ්‍රයේදී, සාමාන්‍ය රෝහල් හෝ සායන වෙත යොමු නොවූ පුද්ගලයන් 50 දෙනෙකු හඳුනාගෙන ඔවුන් සඳහා මූලික සෞඛ්‍ය පරීක්ෂණ සහ උපදේශන ලබාදීමේ විශේෂ සායනයක් ද ඊයේ පැවැත්විණි.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මහල් නිවාස සංකීර්ණ 24ක පිහිටි නිවාස ඒකක 14,714ක ජීවත්වන සමස්ත ජනතාවම ආවරණය වන පරිදි මෙම සුවතා මධ්‍යස්ථාන ජාලය ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ජාතික නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා ගුණරත්න, උතුරු කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පවිත්‍රා මුතුකුඩ, කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය ශ්‍රී. ප්‍රතාප් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු සහභාගි වූහ.




