*රතු මුහුද සහ ආසියානු වෙළඳ මාර්ග යා කරමින් කොළඹ වරායේ ප්‍රතිඅපනයන ධාරිතාව ඉහළට
Hongkong Jihang International Shipping Co., Ltd සමාගම, සිය MV JI ZHE 6 නෞකාව කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය (CICT) වෙත ප්‍රථම වරට සම්ප්‍රාර්ථ වීමත් සමඟ සිය කලාපීය සේවා ජාලය තවදුරටත් පුළුල් කර ඇත. මෙමගින් සමාගම ශ්‍රී ලාංකේය වෙළඳපොළට නිල වශයෙන් පිවිසෙන අතර, කොළඹ සහ ආසියානු හා රතු මුහුදේ ප්‍රධාන වෙළඳ මාර්ග අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කරයි.
කලාපීය සේවා ජාලයේ ව්‍යාප්තිය
චීනයේ නිංබෝ (Ningbo) හි මූලස්ථානය පිහිටි Hongkong Jihang International Shipping Co., Ltd යනු චීනය, ඉන්දියාව, චිටගොං, මැලේසියාව සහ රතු මුහුද ආශ්‍රිත කලාපය පුරා නෞකා සේවා පවත්වාගෙන යන සමාගමකි. ඔවුන්ගේ නෞකා මාර්ග ජාලයට කොළඹ වරාය එකතු වීම තුළින් කලාපීය වෙළඳ සබඳතා වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාවික ද්වාරය හරහා දේශීය සහ ප්‍රතිඅපනයන (Transshipment) භාණ්ඩ ප්‍රවාහනය සඳහා නව අවස්ථා උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් MV JI ZHE 6 නෞකාවේදී විශේෂ සමරු ඵලක හුවමාරු කිරීමේ උත්සවයක් පැවැත්විණි. ඒ සඳහා කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) කළමනාකාරීත්වය, ඕෂන් ලයින්ස් ලංකා ආයතනයේ (Ocean Lanka Lines (Pvt) Ltd (OCL)) සභාපති හැඩ්ලි රොඩ්‍රිගෝ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ILM හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ - මෙහෙයුම් සහ අලෙවිකරණ ට්‍රෙසෙල් සිල්වා ඇතුළු නිලධාරීන් සහ හොංකොං ජිහාං සමාගමේ (Hongkong Jihang International Shipping Co., Ltd) නියෝජිත පෝල් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ නෞකා හිමිකරුවන්ගේ නියෝජිත පෝල් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය ලෙස Ocean Lanka Lines සමාගම තෝරා ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයකින්ම ඉල්ලීම් ලැබී තිබූ බවයි.
"දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇගයීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ අපගේ නියෝජිතයා ලෙස Ocean Lanka Lines සමාගම පත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ සාකච්ඡා ආරම්භයේ සිටම එහි සභාපති හැඩ්ලි රොඩ්රිගෝ දැක්වූ වෘත්තීයභාවය සහ කැපවීම, ශ්‍රී ලංකාව තුළ අපගේ දීර්ඝකාලීන වර්ධන සැලසුම් සාර්ථක කරගැනීමට ලොකු විශ්වාසයක් ලබා දුන්නා," යැයි පෝල් පැවසීය.
එමෙන්ම OCL සමාගමේ මෙහෙයුම් හා අලෙවි අධ්‍යක්ෂ ට්‍රෙසල් සිල්වා සතු වසර ගණනාවක ක්ෂේත්‍ර අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රය තුළ පවතින සබඳතා ද පෝල් ගේ ඇගයීමට ලක් විය.
"Ocean Lanka Lines කළමනාකාරීත්වයේ වෙළඳපොළ දැනුම, මෙහෙයුම් හැකියාව සහ ක්ෂේත්‍රයේ සබඳතා අපගේ මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වුණා. කොළඹ හරහා අපගේ සේවාවන් සහ භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව වර්ධනය කිරීමට ඔවුන්ට හොඳ හැකියාවක් ඇති බව අපි විශ්වාස කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
වෘත්තීයමය සේවාව සහ වර්ධන ඉලක්ක
මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් Ocean Lanka Lines සභාපති හැඩ්ලි රොඩ්රිගෝ, තමන් කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් Hongkong Jihang Shipping සමාගමට ස්තූතිය පුද කළේය.
"Hongkong Jihang Shipping සමාගමේ ශ්‍රී ලාංකේය නියෝජනය අප වෙත පැවරීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. කොළඹ කියන්නේ කලාපයේ ඉතා උපායමාර්ගික ස්ථානයක පිහිටි ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක්. උසස් නියෝජිත සේවාවක් සහ වෙළඳපොළ සංවර්ධන පියවර හරහා එම සමාගමේ ව්‍යාප්තිය සහ වාණිජ ඉලක්ක සපුරාලීමට අපි කැපවී සිටිනවා," යැයි රොඩ්රිගෝ පැවසීය.
OCL අධ්‍යක්ෂ ට්‍රෙසල් සිල්වා සඳහන් කළේ මෙම සහයෝගීතාවය හරහා කොළඹ හරහා සිදුවන දේශීය මෙන්ම ප්‍රතිඅපනයන භාණ්ඩ ප්‍රමාණය ද වර්ධනය කිරීමට මග පෑදෙන බවයි.
"Hongkong Jihang Shipping ජාලය මගින් ශ්‍රී ලංකාව සහ කලාපීය ප්‍රධාන වෙළඳපොළවල් අතර වටිනා සබඳතාවක් ගොඩනගනවා. නෞකා මෙහෙයුම් සහ භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා CICT, ෆීඩර් මෙහෙයුම්කරුවන්, ප්‍රධාන නාවික සමාගම්, කන්ටේනර් අංගණ සහ ලොජිස්ටික්ස් පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට අපගේ කණ්ඩායම සූදානම්," යැයි සිල්වා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආනයන-අපනයන වෙළඳාම මෙන්ම කොළඹ හරහා රතු මුහුද ඇතුළු කලාපීය ගමනාන්ත වෙත ගමන් කරන ප්‍රතිඅපනයන භාණ්ඩ ධාරිතාව වර්ධනය කිරීමට Ocean Lanka Lines සමාගම විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
කොළඹ වරායේ කලාපීය ස්ථානගතවීම ශක්තිමත් වීම
Hongkong Jihang Shipping සමාගම කොළඹ වරාය සමඟ එක්වීම කොළඹ වරායේ වර්ධනයට ලැබුණු සුබවාදී පියවරක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ දකිති. මෙමගින් වරායේ නාවික සමාගම් සහභාගීත්වය තවදුරටත් විවිධාංගීකරණය වන අතර කලාපීය ප්‍රතිඅපනයන සහ ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වේ.
MV JI ZHE 6 නෞකාවේ මෙම මංගල සම්ප්‍රාප්තිය, Hongkong Jihang International Shipping Co., Ltd, Ocean Lanka Lines (Pvt) Ltd සහ CICT අතර ඇති වූ ප්‍රබල උපායමාර්ගික සහයෝගීතාවයක ආරම්භය සනිටුහන් කරන අතර, එය ආසියානු නාවික ක්ෂේත්‍රය තුළ කොළඹ වරායේ ස්ථානගතවීම තවදුරටත් තහවුරු කරයි.



(සටහන | රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)
Rahul Samantha Hettiarachchi
ගවේෂණාත්මක මාධ්‍යවේදී
'යුගල් කිෂෝර් ශුක්ලා’ ජාත්‍යන්තර මාධ්‍යවේදී සම්මානලාභී
rahulnews.srilanka@gmail.com




