මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ හදිසි උපක්‍රමික බලකා නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා ඉදිරියේ කැඳවිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළව 106 සිට 123 දක්වා වන සැකකරුවන් අලුතින් නම් කර ඇති බවයි.
මනුෂ්‍ය ඝාතන සහ පොදු දේපළ චෝදනා
අදාළ සැකකරුවන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන, පොදු දේපළවලට අනර්ථයක් සිදුකිරීම මෙන්ම ගිනි අවි ආඥා පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව විමර්ශන නිලධාරීහු පෙන්වා දුන්හ.
හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට නියමිතව සිට අධිකරණය මඟහැර සිටි පුද්ගලයින් අට දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
හඳුනාගැනීමේ පෙරෙට්ටුව සහ සැඟව සිටි සැකකාරිය
නඩුවේ 53 සිට 67 දක්වා වූ සැකකරුවන් මුහුණු ආවරණය සහිතව බන්ධනාගාර ආරක්ෂාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව මෙහෙයවීමේ වගකීම වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා වෙත පැවරිණි.
දිගු කලක් සැඟව සිටි 87 වන සැකකාරිය වන පූජා නමැත්තිය, ඇගේ සහකරු සමඟ කටාන ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයද එම හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරිණි.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය සහ නඩු දිනය
සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යළි සිහිපත් කිරීමක් යවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැහැදිලි කළේය.
වාණිජ අපරාධ විමර්ශනාංශයේ සහකාර පොලිස් අධිකාරීවරුන් වන චන්දන කළුආරච්චි සහ ක්‍රිස්ණදාස යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක ඇතුළු විමර්ශන කණ්ඩායම මෙම කරුණු වාර්තා කිරීම සිදු කළහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, නම් කර සිටින සැකකරුවන් 123 දෙනා නොවැම්බර් 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් නඩුව එදිනට කල් තැබුවාය.



