*දේශීය හා ජාත්‍යන්තර සංවිධානවලට පරිපාලනමය බලපෑම්: කෝටි දහස් ගණනක අරමුදල් ප්‍රවාහ කෙරෙහි දැඩි අවධානය
නව පනත, ඩිජිටල්කරණය සහ නියාමන රාමුව
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ) පනත මුළුමනින්ම අහෝසි කරමින්, වඩාත් පුළුල් හා සක්‍රීය නියාමන රාමුවක් හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටියි. 2026 රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ) කෙටුම්පත ලෙස මෙය සකස් කර ඇති අතර, මෙම කෙටුම්පත තවමත් අවසාන මට්ටමින් කෙටුම්පත් කර නොමැති බැවින් එය මෙතෙක් නීතියක් ලෙස බලාත්මක කර නොමැති බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න ඩී. විතානගේ තහවුරු කරයි.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව, නව පනත මගින් විදේශීය අරමුදල් ලැබීම සහ භාවිතය පිළිබඳව සෘජු නිරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරෙනු ඇත. වංචනික ලෙස මුදල් හුවමාරු කිරීම, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය හරහා ඩිජිටල් ලියාපදිංචිය, වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ත්‍රෛමාසික ප්‍රගති වාර්තා ඉදිරිපත් කළ හැකි නවීන ඩිජිටල් තාක්ෂණික පද්ධතියක් (National Secretariat for NGOS Portal) රජයේ ප්‍රතිපාදන මත ස්ථාපිත කිරීමට නියමිතය. මීට පෙර සමාගම් පනත වැනි වෙනස් නීතිමය රාමූන් යටතේ විසිරී තිබූ සංවිධාන ද මෙම එකම ජාතික නියාමන ව්‍යුහය යටතේ ඒකාබද්ධ කෙරෙනු ඇත.
පරිපාලනමය ව්‍යුහය සහ සංවිධානවල වත්මන් ක්‍රියාකාරීත්වය
මෙම නව නියාමන වැඩපිළිවෙළ සම්ප්‍රදායික රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් නොව, දේශීය භාර (Trusts), කුඩා ප්‍රජා සුබසාධන කණ්ඩායම්, සමිති සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දක්වා ද ව්‍යාප්ත කිරීමට යෝජනා වී තිබේ. කෙසේ වෙතත්, සමාගම් පනත යටතේ ලියාපදිංචි වී දැනටමත් නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන ආයතනවලට ද නැවත වරක් පරිපාලනමය ක්‍රියාවලීන් හරහා ගමන් කිරීමට සිදුවීම පිළිබඳව ද නීතිමය හා සමාජයීය මට්ටමින් සංවාදයක් නිර්මාණය වී ඇත.
දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව තුළ විවිධ පරිපාලන මට්ටම්වල ලියාපදිංචි වූ රාජ්‍ය නොවන සංවිධාන 37,000කට අධික සංඛ්‍යාවක් පවතී. ඉන් 1,786 සිට 1,851 දක්වා වූ ප්‍රමාණයක් ජාතික මට්ටමින් ලියාපදිංචි වී ඇත. කෙසේ වෙතත්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දත්තවලට අනුව මෙසේ ජාතික මට්ටමින් ලියාපදිංචි වූ ආයතන අතරින් දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන්නේ 618ක පමණ සංඛ්‍යාවකි. මීට අමතරව බහුතරයක් සංවිධාන ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර, දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන 1,636ක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සංවිධාන 38,524ක් ලියාපදිංචි වී තිබේ.
අරමුදල් ගලාඒම සහ දේශීය-ජාත්‍යන්තර පාර්ශ්වයන්ගේ දායකත්වය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා වසරකට රුපියල් බිලියන ගණනක අරමුදල් දේශීය හා ජාත්‍යන්තර නාලිකා ඔස්සේ ගලා එයි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGOs) සහ විදේශ රාජ්‍යයන් විසින් සෘජුවම ජාතික මට්ටමේ දේශීය සංවිධාන වෙත අරමුදල් සැපයීම සිදු කරයි. නිල වාර්තාවලට අනුව ව්‍යාපෘති සඳහා වසරකට නිරීක්ෂණය කළ හැකි විදේශීය අරමුදල් ගලාඒම රුපියල් බිලියන 30 සිට 33 දක්වා සටහන් වන නමුත්, නිරීක්ෂණය නොවන හෝ ආසන්න වශයෙන් ගණනය කෙරෙන මුළු අරමුදල් ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 100කට ආසන්න වන බව පූර්වගාමී දත්ත පෙන්වා දෙයි.
UNDP, UNICEF, සහ WFP වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒජන්සි සහ වැඩසටහන් මගින් මෙරට රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලැබෙන අරමුදල්වලින් 1%ක පමණ ප්‍රමාණයක් සපයනු ලබයි. එම ආයතන මගින් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධ යෝජනා ක්‍රම සඳහා මූලිකත්වය ලබා දෙයි.
එමෙන්ම දේශීය රාජ්‍ය නොවන සංවිධාන මගින් පෞද්ගලික සමාගම්වල කෝපරේට් සමාජ වගකීම් (CSR) ප්‍රතිපාදන, පුද්ගලික පරිත්‍යාග සහ ගම්මට්ටමේ සමුපකාර සමිතිවල කුඩා පරිමාණ දායකත්වයන් මත ද යැපෙනු ලබයි. මීට අමතරව, සමහර සිවිල් සංවිධාන විසින් ආපදා සහන වැඩසටහන්, ප්‍රාදේශීය සුබසාධන සහ අදාළ විෂයභාර අමාත්‍යාංශ සමඟ එක්ව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රතිපාදන ද ලබා ගනු ලබයි.




