*හමුදා නිල නිවාස, හෝටල් සහ ගුවන් තොටුපළ ව්‍යාපෘති හමුවේ අයිතිය අහිමි වූ දෙමළ ජනතාවගෙන් කොළඹදී දැවැන්ත හෙළිදරව්වක්
දශක ගණනාවක් තිස්සේ රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටීන සිය පාරම්පරික භුමිය නිදහස් කරන ලෙස ඉල්ලා උතුරේ දෙමළ ජනතාව විරෝධතා දියත් කරද්දී, උතුරේ තවත් ඉඩම් පවරා ගැනීමේ සැලසුම රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග යුද වින්දිත දෙමළ ජනතාව දැඩි ඉච්ඡා භංගත්වයකට පත්ව සිටි.
හමුදාව වාඩිලා සිටින ඉඩම් නිදහස් කිරීම සිය අභිලාශය බව ජනාධිපතිවරයා දෙමළ කතාකරන මන්ත්‍රීවරුන් පිරිසකට කීමට මත්තෙන් ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් උතුරේ තවත් සුවිශාල භුමි ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ සැලසුම් ක්‍රියාත්මකව ඇති බව අනාවරණය කොට තිබේ.
වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා ස්වාධීන මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ 2026 ජුලි 09 වැනිදා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර තිබුනේ උතුරේ ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය ඉඩම් තවදුරටත් අත්පත්කරගැනීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි.
“වර්තමාන ඉඩම් ලබාගැනීමේ ක්‍රියාවලියට සමගාමීව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අනාගත සංවර්ධනය සදහා ඉඩම් අවශ්‍යතාවය සම්බන්ධයෙන් මැනුම් කිරීමේ අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පිළිබදව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව ගුවන් හමුදාව විසින් වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරලා තියනවා. එහිදී වර්තමානයේ පලාලි ගුවන් තොටුපල හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන සීමාවෙන් ඔබ්බට ඇති ඉඩම් ලබා ගැනීම පිළිබදව ඉඩම් අමාත්‍යාංශය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ප්‍රාදේශිය ලේකම් වලිකාමම් උතුරු, තෙලිප්පලෙයි හා ඒකාබද්ධව කටයුතු සිදු කිරීම සුදුසු යැයි අපි වාර්තා කරලා තියනවා. තවද ආරක්ෂක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය හා යාපනය දිස්ත්‍රික් ලේකම් එක්ක සාකච්ඡාවක් සිදු කර ඉඩම් කට්ටි නිශ්චිතව හදුනා ගැනීමේ කටයුතු සිදු කිරීමටද කටයුතු කරමින් පවතිනවා.”
ත්‍රිවිධ හමුදා පරිහරණයට අත්‍යව්‍යශයැයි හදුනාගත් ඉඩම් කොටස් මුදා හැරීමට මෙම අවස්ථාවේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තුව හමුවේ කියා සිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් අවධාරණය කර තිබුනේ පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ වත්මනෙහි යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන අක්කර 1600 කට අධික ඉඩම් ප්‍රමාණය යුද හමුදාවට නීත්‍යානුකුලව පවරා ගැනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.
“පලාලි යුද හමුදා රෝහල ස්ථාපිත ඉඩම් කොටස පහත සදහන් කරුණු හේතුවෙන් යුද හමුදා පරිහරනයෙන් නිදහස් කිරීමට හැකියාවක් නොමැති බවයි අපේ අමාත්‍යාංශය දන්වන්නේ. මෙම ඉඩම් කොටස ඇතුලත් පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ වත්මනෙහි යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන සම්පුර්ණ අක්කර 1661 ක් ඉඩම් ප්‍රමාණය යුද හමුදාව වෙත විධිමත්ව පවරා ගැනීමේ කටයුතු සහ ඉඩම් හිමි සිවිල් ජනතාව වෙත වන්දි මුදල් නිරවුල් කිරීමේ කටයුතු මෙම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ සිදු කරමින් පවතිනවා.”
යුද හමුදාව වෙත උපාය මාර්ගිකව හා උපක්‍රමික වශයෙන් මෙම ඉඩම් අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි තව දුරටත් සදහන් කර තිබුනි.
“ඉල්ලුම් කරනු ලබන ඉඩම් කොටසට ඉතා ආසන්නයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගුවන් යානා ගුවන් ගත කරනු ලබන කලාපය පිහිටා තිබීම, ඒ හේතුවෙන් සහ එහි ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද යුද හමුදාව වෙත උපාය මාර්ගිකව හා උපක්‍රමික වශයෙන් මෙම යුද හමුදා රෝහල ස්ථාපිත ඉඩම් ප්‍රමාණය යුද හමුදාව වෙත අත්‍යවශ්‍ය බවයි අපි දන්වා සිටින්නේ.”
යුද්ධය හේතුවෙන් රජයේ හමුදා විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල බලහත්කාරයෙන් අත්පත් කර ගත් දෙමළ ජනතාව ගේ ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා අගෝස්තු 03 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් බාර දීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී යාපනයේ සිට පැමිණි ගුරුවරයකු වන වී. ජෙගනාදන් කියා සිටියේ අක්කර දහස් ගණනක් නිදහස් කර ගැනීමේ සටනක නිරතවී සිටින මොහොතක ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය ඉඩම් අහිමි වී සිටින ජනතාවගේ සිත් තුළ දැඩි වේදනාවක් ඇති කළ බවයි.
“හමුදා අධි ආරක්ෂක කලාපය කියන නමින් වලිකාමම් උතුරේ අක්කර 2506ක ඉඩම් තාම නිදහස් කරන්නේ නැතිව තියාගෙන ඉන්නවා. ඔයා දන්වා ඇති කියලා හිතනවා අධි ආරක්ෂිත කලාපවලට මෙහෙ ඉඩක් නැහැ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියපු එක. ඒ නිසා අපිට තියෙන දුක මොකක්ද කිව්වොත් මේ අක්කර 2506ක ඉඩම අත්පත් කරගන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර එයා හිටපු හමුදා ජෙනරාල් කෙනෙක්. එයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා හමුදාවේ අවශ්‍යතාව වෙනුවෙන් අක්කර 1661 ඕනේ කියලත් ගුවන්තොටුපළ විශාල කරන්න අක්කර 774ක් ඕනේ බවත් කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ අක්කර 2500ට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ඕන නිසා තවත් අල්ලනවා කියන විදිහට එයා කියලා තියෙනවා. ඒකෙන් අපිට හිත් වේදනාවක් දෙනවා.”
යුද නිමාවෙන් පසු උතුරේ ඉඩම් අක්කර හය දහසකට වැඩි ප්‍රමාණයක් අත්පත්කරගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය සමයේ නිකුත් කළ ගැසට් පත්‍රයක් මේ දක්වාම අවලංගු නොකිරීම නිසා ඉඩම් අහිමි වු වලිකාමම් උතුරු ප්‍රදේශයේ පලාලි, මයිලට්ටි, වසාවිලාන්, කට්ටුවාන්, කුරුම්බසිට්ටි, තෛයිට්ටි ඇතුලු ප්‍රදේශවල ජනතාව අක්කර දහස් ගණනක් නිදහස් කරන ලෙස බලකරමින් 2026 අප්‍රේල් මාසයේ සිට විරෝධතා ආරම්භ කර තිබුනි.
කේපාපුලවු සහ පලාලි ඉඩම් අහිමිවූ ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පිහිටුවා ගත් සිවිල් සංවිධාන සහ සම අයිතිය ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කර තිබු ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් වී. ජෙගනාදන් තව දුරටත් කියා සිටියේ රජයේ ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගත් දෙමළ ජනතාවගේ පාරම්පරික භුමිය තුළ හමුදා විසින් හෝටල් ඉදි කර ඇති බැවින් ඔවුන් එම ඉඩම් නිදහස් කිරීමට මැලි වන බවයි.
“ඒ වගේම ඒ පාරේ දකුණු දිසාවට වෙන්න තියෙන, ගුවන්තොටුපළට උතුරේ තියෙන ඉඩම් නිදහස් නොකර තියාගෙන ඉන්න කිසිම හේතුවක් නැහැ. එහෙත් එහෙ හමුදාව හදපු හෝටල තියෙනවා. ඒ වගේම ගුවන් හමුදාව හදපු හෝටලයක් තියෙනවා. ඒ වගේම තවත් ව්‍යාපාරික දේවල් කරනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් නිසා තමයි, ඉඩම් නිදහස් කරන්නේ නැතිව තියාගෙන ඉන්නේ.”
සිය පාරම්පරික භුමියේ පැවැති ආගමික සිද්ධස්ථාන ගණනාවක් යුද්ධය අවසන් වී අවුරුදු කීපයක් ගතවු පසුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුද හමුදාව විසින් විනාශ කර ඇති ආකාරයත් වී. ජෙගනාදන් කොළඹ මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනි.
“අපේ භූමියේ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන නමින් අපගේ ආගමික සිද්ධස්ථාන 21ක් 2013 වසරෙන් පස්සේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. හින්දු, ක්‍රිස්තියානි, කතෝලික ආගමික සිද්ධස්ථාන. ඒ වගේම ඉස්කෝල පහක් කඩලා තියෙනවා. කඩලා දැම්මා විතරක් නෙවෙයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි හමුදාවයි අපේ ගෙවල්, ආගමික සිද්ධස්ථාන, පාසල් කඩලා විනාශ කරලා ගොවිතැන් කරනවා.”
ඔහු තව දුරටත් කියා සිටියේ කමාන්ඩර් බංගලාව නමින් හදුන්වන උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිකිරීම වෙනුවෙන් දෙමළ පවුල් 150 ක නිවාස යුද හමුදාව විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවයි.
“මයිලිට්ටිව්ල ගෙවල් 150ක් විතර කඩලා, කමාන්ඩර් බංගලාවක් හදලා තියෙනවා. ජෙනරාල් කෙනෙක්ට මාසයකට සැරයක් ඇවිත් නතර වෙන්න, පවුල් 150ක මිනිස්සුගේ ජීවත්වීමේ අයිතිය උදුරගෙන කමාන්ඩර් බංගලාවක් හදලා තියෙනවා.”
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් කමාන්ඩර් බංගලාව නමින් හදුන්වන උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිරිපිට 2026 අප්‍රේල් 24 වැනිදා සිට සෑම සිකුරාදා දිනකමත්, 2026 ජුනි 21 වැනිදා සිට සෑම ඉරිදා දිනකම පලාලි හන්දියේත් ඉඩම් අහිමි වුවන් විසින් සතිපතා විරෝධතා දියත් කරමින් සිටි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි මහලේකම් එම් ඒ සුමන්දිරන් අගෝස්තු 03 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී අගනගරයේ මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ යුද හමුදාව ඇතුළු රජයේ ආයතන විසින් අත්පත් කරගෙන සිටින උතුරේ ජනතාවගේ පුද්ගලික ඉඩම් නිදහස් කිරීම තමන්ගේ අභිලාෂයක් බව දෙමළ පක්ෂ හයක නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි දැනුම් දුන් බවයි.




