ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය වෙනුවෙන් OMP සංවිධානය කළ වැඩසටහනට විරෝධය පෑ උතුරු-නැගෙනහිර මව්වරුන්ට පොලිස් බාධා.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ගොදුරුවූ වින්දිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් යාපනයේ පැවැත් වූ වැඩසටහනකට යුද පීඩිත දෙමළ මව්වරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ එම වැඩ සටහන පැවැත්වෙද්දී උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) විරෝධය පළ කරමින් උද්ඝෝෂණ දියත් කළ බවයි.
විරෝධතාවයට නායකත්වය දුන් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ ලේකම් සිවානන්දන් ජෙනීටා එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් හා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුවන් 31 දෙනකු ජීවතුන් අතර සිටිනා බවට ප්‍රකාශ කරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමෙන් වැලකී යුද වින්දිත දෙමළ ජනතාව රැවටීමකට ලක් කරමින් සිටින බවයි.
"මහත්තයා 31 දෙනෙක්ව හොයාගත්තා කියනවා. ඒ 31 දෙනා කවුද කියලා දන්නේ නැහැ. අනික සති දෙකකට කලින් අපි වැඩමුළුවකට ගිය වෙලාවේ OMP කාර්යාලයේ නියෝජිතයෙක් කිව්වා, 27 දෙනෙක්ව හොයාගත්තා කියලා. ඒ 27 දෙනා කවුද කියලා ඇහුවාම දන්නේ නැහැ කියනවා. අපි කියන්නේ නැහැ. එහෙම නම් මොකක්ද OMP. ඇත්තක් නැති OMP එක."
"ජීවතුන් අතර සිටින 31 දෙනාගේ තොරතුරු වසන් කිරීම ගැන විරෝධය"
විසි දෙදහසකට අධික අතුරුදහන් කිරීම් පිලිබඳ පැමිණිලි අට අවුරුද්දක් තිස්සේ සෝදිසි කොට 'ජීවමානව ඉන්නා' 31 දෙනකු සොයාගන්නට හැකිවූ බව අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ ප්‍රධානී තනතුරේ පස්වැනි අවුරුද්දේත් කටයුතු කරන නීතිඥ මහේෂ් කටුලන්ද මාධ්‍යහමුවක් පවත්වමින් පසුගියදා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනි.
"යම් යම් සැක සහිත තොරතුරු ඒ අතුරුදහන් වීම් තුළ ගැබ්වෙලා තිබිච්ච තත්වයන් හමුවේ 2000 ට ආසන්න ප්‍රමාණයක් වැඩි දුර විමර්ශන සදහා අපගේ ට්‍රෙිසින් සහ ඉන්වෙස්ට්ගේෂන් අංශයට, වැඩි දුර සොයා බැලීමේ අංශයට යොමු කරලා තියනවා. ඒ අතරින් දැන් ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා යනවා. ඒ අතරිනුත් 31 ක් දොනෙක් මේ වෙන කොට ජීවමානව මේ අතුරුදහන් වුවන්ගේ ලැයිස්තුව අතරින් අප සොයාගෙන තියනවා. ඒතකොට ඒ ජීවමානව සොයාගෙන ඉන්න අය අතරින් තුන් දොනෙක් ස්වභාවිකව පහුගිය කාලේ මරණයට පත් වෙලා තියනවා. "
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා දියත් කළ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලට ඇතුළු වීමට උත්සාහ කරද්දී, පොලීසිය යුද වින්දිත දෙමළ මව්වරුන් පිඩාවට ලක් වන අයුරින් කටයුතු කළ බවයි.
"වන්දි එපා යුක්තිය දෙන්න: මව්වරුන්ගෙන් පොලිසියට දැඩි ප්‍රශ්න කිරීම්"
සිවානන්දන් ජෙනීටා පොලිස් නිලධාරීන් හමුවේ දැඩිව ප්‍රශ්න කර තිබුනේ දරු දුකින් පීඩිතව පාරේ අරගල කරන යුද වින්දිත දෙමළ මව්වරුන්ට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් ලැබෙන යුක්තිය කුමක්ද යන්නයි.
" මේක ඔයාලාගේ ප්‍රශ්නයක් නෙවෙයි. දරුවන්ව නැති වෙලා තිබුණොත් තමයි වේදනාව දන්නේ. එයාලා නිකම් වන්දි ලබාදෙන කාර්යාලයක් තමයි, තියාගෙන ඉන්නේ. ඒ වන්දි කාර්යාලයෙන් අපිට යුක්තිය ලබාදෙන්න පුළුවන් ද? දරුවෙක්ගේ වටිනාකම දන්නවා ද? කැක්කුම වේදනාව එක්ක මේ පාරේ ඉන්න මේ ජනතාවට තියෙන යුක්තිය මොකක්ද?"
"ජංගම සේවා සහ පෞද්ගලිකත්වය රකින රජයේ ස්ථාවරය"
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අගෝස්තු 25 වැනිදා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී , බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන්ගේ පවුල් සඳහා වෛද්‍ය සායනයක් මෙන්ම වෘත්තීය මාර්ගෝපදේශන ඇතුළු ජංගම සේවා රැසක් ක්‍රියාත්මක කළ බවයි.
මෙම සේවාවන් ලබා ගැනිම සඳහා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වු පවුල් 352කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වු බවත් පුද්ගලයන් 217 දෙනෙකු වෛද්‍ය සායනයට සහභාගී වු බවත් පවසන ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ ඔවුන් අතරින් දෘෂ්ටි ආබාධ සහිත පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි ලබා දීමද එහිදී සිදු වු බවයි.
එම වැඩ සටහනකට එක්වෙමින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසා ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට පැමිනිලි ලැබී ඇති පිරිසෙන් ජීවමානව සිටිනා බවට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අනාවරණය කරගෙන ඇති පුද්ගලයන් 31 සම්බන්ධ තොරතුරු පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් ඔවුන්ගේ පවුල් වලට පමණක් දැනුම් දී ඇති බවයි.
"මෙතෙක් සිදුකර ඇති මූලික විමර්ශනවලදී සිද්ධීන් 1,594ක් වැඩිදුර විමර්ශන සඳහා යොමු කර තිබෙනවා. පවුල්වල නීතිමය හා පරිපාලනමය ගැටලු විසඳීම සඳහා, 2026 ජූලි 31 වන විට අතුරුදන්වීම පිළිබඳ සහතික (Certificate of Absence) 2,719ක් සහ මරණ සහතික (Certificate of Death) 409ක් නිකුත් කර තිබෙනවා. අතුරුදන් කළ පුද්ගලයන් 31 දෙනෙකු සම්බන්ධයෙන් අවසන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් එම තොරතුරු අදාළ පවුල් වෙත පමණක් දැනුම් දී තිබෙනවා. තවද, පුද්ගලයන් 5,427 දෙනෙකු සඳහා වන්දි ගෙවීම් ලබාදීම සඳහා වන්දි කාර්යාලයට නිර්දේශ කර තිබෙනවා.”
"ජාත්‍යන්තරය රැවටීමේ උත්සාහයක් බවට සිවිල් ක්‍රියාකාරීන්ගෙන් චෝදනා"
OMP කාර්යාලය විසින් යාපනයේ සැමරුම් වැඩ සටහනක් සංවිධානය කිරීම පිළිබදව මන්නාරම දිස්ත්‍රික් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් සංගමය විසින් අගෝස්තු 24 වැනිදා මාන්නාරම මාධ්‍ය සමාජයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි විරෝධය පළ කර තිබුනි.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ වින්දිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් යාපනයේදී මෙවැනි වැඩ සටහනක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි ප්‍රශ්න කරන යාපනයේ සිවිල් සමාජ ක්‍රියාකාරිනියක විසින් එහිදි අවධාරණය කර තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ ගැටළුව රට තුලම විසදා ගත හැකි බව ජාත්‍යන්තරය හමුවේ විදහා දැක්වීමට එම කාර්යාලය මෙවැනි වැඩ සටහනක් සංවිධානය කර ඇති බවයි.
"රටක, ජාත්‍යන්තර ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැහැ කියන රජයක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය මොකටද සමරන්නේ? ඔවුන්ගේ නීතිරීති, ක්‍රමවේදයන් අපගේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අපි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය OMP සහ රජය එක්ව සමරන එක, ජාත්‍යන්තරයට අපි රට තුළම විසඳුමක් ලබාදුන්නා. මෙහෙ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් කිසිවක් නැහැ. හැම ප්‍රශ්නයක්ම විසඳුවා කියන්න එයාලා සාම්ප්‍රදායිකව සමරන්න, මේ උත්සවය සංවිධාන කරලා තියෙනවා."
බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින යුද වින්දිත දෙමළ මව්වරුන් විසින් දැඩිව ප්‍රතික්ෂේප කරන බව බලධාරීන්ට දැනුම් දුන් ඇය වැඩි දුරටත් අවධාරණය කර සිටියේ යුද වින්දිත මව්වරුන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ම පමණක් බවයි.
"අපේ ඥාතීන් ඉල්ලන්නේ වන්දි නෙවෙයි. අපේ දරුවන්ව අපිට භාරදෙන්න. නැත්නම් අපි එයාලාව පැහැරගෙන ගිහින්, අතුරුදන් කරලා ඝාතනය කළා කියන එක ඔයාලා ජාත්‍යන්තරය හමුවේ පිළිගන්න."
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අගෝස්තු 25 වැනි අගහරුවාදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබු වැඩ සටහන සදහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.





