කඩ සාප්පුවල මුදල රජයේ බද්දක් කරන්නේ කෙසේද?
සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයාගෙන් ලබාගන්නා පොලිතින් ගාස්තුව හෝ ඊට අදාළ වෙනත් බද්දක් රජයට අය කරගැනීමේ නිශ්චිත සැලැස්ම ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ පාර්ශ්වයන්ට නියෝග කර තිබේ.
අගවිනිසුරු ප්රීතපද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු විමර්ශනයට ලක් විය. එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සඳහා නියාමනය කළ බද්දක් කඩිනමින් පනවන ලෙස ඉල්ලා ගොනු වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ විනිසුරු මඩුල්ල, ඊට අදාළ වැඩපිළිවෙළ ලබන වසරේ මාර්තු 05 වැනිදා අධිකරණය හමුවේ තබන ලෙස නියම කළේය.
'සාප්පු ගාස්තුවක්' සහ 'පරිසර බද්දක්' අතර වෙනස
2026 අප්‍රේල් 08 වැනිදා SCFR 53/2026 යටතේ මෙම පෙත්සම ගොනු කළේ පරිසර යුක්ති කේන්ද්‍රය සහ පරිසරවේදීන් වන හේමන්ත විතානගේ හා දිලෙන පත්‍රගොඩ යන මහත්වරුන් විසිනි.
පොලිතින් භාවිතය අධෛර්යමත් කිරීම සඳහා 2025 වසරේදී බෑගයක් සඳහා මුදලක් නියම කළද, එයින් අපේක්ෂිත පාරිසරික අරමුණු ඉටු නොවූ බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. දැනට වෙළෙඳසැල් මඟින් බෑගයක් සඳහා රුපියල් කිහිපයක මිලක් (Fee) අය කළද, එම මුදල් පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආයෝජනය නොවේ.
ඒ වෙනුවට 2008 අංක 26 දරන පරිසර සංරක්ෂණ බදු පනත ප්‍රකාරව රජය විසින් නීත්‍යනුකූල බද්දක් (Levy) අය කළ යුතු බවත්, එකතු වන මුදල් පරිසර සංරක්ෂණය සඳහාම වෙන්වූ විශේෂ රාජ්‍ය අරමුදලකට බැර විය යුතු බවත් පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන තර්කයයි.
නීති තිබුණත් පාලනයක් නැති පාරිසරික අනතුර
පොලිතින් සහ ප්ලාස්ටික් පාලනයට 2006 සහ 2017 වසරවලදී ගැසට් නිවේදන හා නීතිමය පියවර ගත්තද, අදාළ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිකම හේතුවෙන් එම නීති බිම් මට්ටමේදී අක්‍රිය වූ බව නිරීක්ෂණය වේ.
විශේෂයෙන් උණුසුම් ආහාර ඇසුරුම් කිරීමෙන් ශරීරගත වන විස රසායනික මෙන්ම, කසළ රඳවන්වල නොදිරන අපද්‍රව්‍ය එක්රැස් වීමෙන් භූගත ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බරපතළ මහජන සෞඛ්‍ය අවදානමක් මතු කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් 'දූෂකයා විසින් වන්දි ගෙවිය යුතුය' (Polluter Pays Principle) යන මූලධර්මය මෙරට තුළ ක්‍රියාත්මක නොවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති 'පිරිසිදු පරිසරයක ජීවත්වීමේ' පුරවැසි මූලික අයිතිය උල්ලංඝනය වන බවද පෙත්සමේ අවධාරණය කර ඇත.
අධිකරණය හමුවේ ඇති ඉල්ලීම් සහ පාර්ශ්වකරුවන්
පරිසර හිතකාමී සහ නැවත භාවිත කළ හැකි විකල්ප ඇසුරුම් දිරිගැන්වීමට ජාතික මට්ටමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, පවතින නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හා එහි අධ්යක්ෂ ජනරාල්වරයා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පරිසර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා සමඟ නීතිඥ සවන්ති පොන්නම්පෙරුම සහ නීතිඥ නිර්මල් වික්‍රමසිංහ පෙනී සිටි අතර, රජයේ පාර්ශ්ව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් කනිශ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.



