හත් වසරකට ඉහතදී සියගනනකට මරු කැඳවමින් පුපුරුවා හරින ලද පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණ චෝදන නගා දින සියයකට අධික කාලයක් තිස්සේ PTA යටතේ රඳවා සිටින ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ සිකුරාදා (5) සිට මාරාන්තික උපවාසයක් අරඹා ඇති බව ඔහුගේ පුත්‍රයා පවසයි.
“එයා කෑම හරි වතුර හරි ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එයා මේක කරන්න ප්‍රධාන හේතුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරවාගැනීමටයි. ඒ වගේම කෘර හා අමානුෂික අන්දමට ඔහුට සලකන බව පෙන්වීමට, ඔහුට බල්ලෙකුට වගේ CID එක ඇතුලේ සලකන බව පෙන්වීමට,” යි කුශාල් සලේ අද මාධ්‍යවේදීන් අමතා පැවසීය.
සුරේෂ් සලේ පුත්‍රයා එම ප්‍රකාශය කළේ රහස් පොලිස් අත් අඩංගුවේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානියා හමුවීමට සිය මෑණියන් වන මනෝරි සලේ සමගින් ඉරිදා (7) ගොස් පැමිණීමෙන් පසුවය.
සුරේෂ් සලේගේ සෞඛ්‍යය පිරිහී යමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට ලියා දන්වන නීතිඥ අසිත් සිරිවර්ධන හිටපු බුද්ධි ප්‍රධානියාට වෛද්‍ය පහසුකම් සලසා දී රෝහලකට මාරුකර යැවීමට කඩිනමින් පියවර නොගතහොත් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට එරෙහි රාජ්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රටතුල යුක්තිය ඉටු නොවීම නිසා ජාත්‍යන්තර නීතිය හමුවට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ බුද්ධි අංශ ප්‍රමුඛ ආරක්ෂක හා පොලිස් ආයතනවලට දිගටම විරෝධය පල කර තිබේ.




