* ඊශ්‍රායල විරෝධී පෝස්ටරයේ සිට ආරුගම්බේ සිද්ධිය දක්වා ආණ්ඩුවේ ‘මර්දන හස්තය’ ගැන මානව හිමිකම් මධ්‍යස්ථානයෙන් දැඩි ප්‍රකාශයක්!
* "රැඳවියන්ට වද දීම ශිෂ්ට සමාජයට ගැලපෙන්නේ නෑ; ජාත්‍යන්තර මට්ටමේ නව ත්‍රස්ත විරෝධී නීතියක් වෙනුවෙන් වහාම මහජන කතිකාවක් හදන්න!"
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් පසු උද්ගතව ඇති වත්මන් දේශපාලන සහ නෛතික අර්බුදයත් සමඟ, මෙරට ක්‍රියාත්මක වන කෘෘර මෙන්ම මර්දනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කළ යුතු බවට වන සමාජ කතිකාවත යළිත් දැඩි ලෙස උණුසුම් වී තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘රයිට් ටු ලයිෆ්’ මානව හිමිකම් මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමට පෙර දුන් ප්‍රතිඥා අමතක කරමින්, මෙම කෙටි කාලය තුළදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රිසි සේ භාවිත කරමින් සිටින බවයි.
පොරොන්දු සහ වත්මන් යථාර්ථය!
"වත්මන් රජය බලයට පත් වූ පසු PTA යටතේ අත්අඩංගුවට ගනු ලැබූයේ සුරේෂ් සලේ පමණක් නොවෙයි. ආරුගම්බේ බෝම්බ බියෙහි සිට ඊශ්‍රායලයට විරුද්ධව පෝස්ටර් ඇලවූ තරුණයාගේ සිදුවීම දක්වා ද, මෑතකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කරන ගීත ගැයූ බවට චෝදනා කරමින් දෙමළ ගායන ශිල්පියෙකු අත්අඩංගුවට ගැනීම දක්වා ද මෙම කළු පනත බාධාවකින් තොරව ක්‍රියාත්මක වුණා. බලයට පැමිණි පසු කිසිදු මර්දනකාරී නීතියක් ඉවත් කිරීමට වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කටයුතු කර නැහැ," යැයි රයිට් ටු ලයිෆ් සංවිධානය සිය නිවේදනයෙන් සෘජුවම චෝදනා කරයි.
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැනට වසර 35කට අධික කාලයක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙමින් බරපතළ මානව හිමිකම් උල්ලංඝනවලට දායක වී ඇති බව පෙන්වා දෙන එම සංවිධානය, විධායකයේ නියමයෙන් අධිකරණ අධීක්ෂණයකින් තොරව සැකකරුවන් රඳවා තබා ගනිමින් කායික හා මානසික වධහිංසනයට (Torture) ලක් කිරීම ශිෂ්ට සමාජයකට නොගැළපෙන බව අවධාරණය කරයි. සුරේෂ් සලේ ගේ සිදුවීම තුළද වධහිංසා සිදු වන බව අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාවකින් පවා තහවුරු වී ඇති පසුබිමක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මඟින් සහතික කර ඇති අයිතිවාසිකම් මෙලෙස උල්ලංඝනය වීම බරපතළ තත්ත්වයකි.
මර්දනයේ ඉතිහාසය සහ නව යෝජනා
මෙම පනත මූලිකව දෙමළ සමාජය ද, පසුව ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සැකකරුවන් ද, ඉන්පසු මුස්ලිම් ජනතාව ද මර්දනය කිරීමට යොදාගත් බවත්, වර්තමානය වන විට එය සමස්ත සිංහල සමාජය දෙසටම හැරී ඇති බවත් සිවිල් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
'රයිට් ටු ලයිෆ්' මානව හිමිකම් මධ්‍යස්ථානය රජයෙන් සහ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම මර්දනකාරී පනත යටතේ සිදුකරන රැඳවීම් වහාම නතර කර, දැනට සිටින රැඳවියන්ට මානුෂීයව සලකා කඩිනමින් චෝදනා පත්‍ර ගොනු කරන ලෙස හෝ නැතහොත් ඔවුන් මුදා හරින ලෙසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHRC) මාර්ගෝපදේශවලට අනුකූලව, පුළුල් අධිකරණ අධීක්ෂණයක් සහිත නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පතක් සකස් කිරීම සඳහා වහාම සිවිල් සමාජය සමඟ සාකච්ඡා අරඹන ලෙසද ඔවුහු රජයට බලකර සිටිති.




