The Leader News
BREAKING
Top Ad
පුවත්

B.O.A.T. සටනින් මෙසී පරදා රොනාල්ඩෝ පෙරමුණට

UEFA සහ ප්‍රංශ පාපන්දු සංගමය එක්ව සංවිධානය කළ ඓතිහාසික B.O.A.T. ඡන්ද විමසීමේදී, ලියොනල් මෙසීගේ වාර්තාගත 2012 තරග වාරය අභිබවා යමින් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ 2008 මෙහෙයුම පළමු ස්ථානය දිනාගනී.

Pasan

Pasan

October 31, 2026 • 9:01 PM

B.O.A.T. සටනින් මෙසී පරදා රොනාල්ඩෝ පෙරමුණට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා ලෝලී ඡන්දයෙන් තීරණය වන මේ සම්මානය දිනා ගැනීමේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමග රොනාල්ඩෝගේ 2008 මෙහෙයුම මෙසීගේ වාර්තාගත 2012 තරග වාරය අභිබවා ගොස් තිබෙනවා.
  • මේ ඡන්දයේදී රොනාල්ඩෝ ඉහළම ස්ථානය ලබා ගෙන තිබෙන්නේ සියලු තරගාවලියන් හරහා ගෝල 42ක් ලබා ගනිමින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ප්‍රිමියර් ලීගය හා චැම්පියන්ස් ලීගය යන තරගාවලියන් දෙකේ ම ශූරතා දිනා ගැනීමට උපකාර කළ අමතක නොවන තරග වාරයකින්.
  • මෙසී ඔහුගේ 2012 මෙහෙයුම සමග දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර රොනාල්ඩෝගේ 2017 තරග වාරය තෙවැනි ස්ථානයට පත්වුණා.
  • රොනාල්ඩෝ 2008, 2017, 2016, 2014 සහ 2013 වසරවල ඔහුගේ මෙහෙයුම් සමග ස්ථාන පහක් හිමිකර ගත් අතර මෙසී ඔහුගේ 2012, 2023, 2015, 2011 සහ 2009 වසරවල තරග වාර සමග ඉතිරි ස්ථාන පහ අත්කර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘බැලන් ඩෝ’ සම්මානලාභියෙකුගේ විශිෂ්ටතම තරග වාරය ප්‍රසාදයට ලක් කිරීම පිණිස යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) හා ප්‍රංශ පාපන්දුව විසින් ආරම්භ කරන ලද ‘එදා මෙදා තුර බැලන් ඩෝ’ - Ballon d’Or of All Time (B.O.A.T.) - සම්මානයේ පළමු ජයග්‍රාහකයා වීමට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සමත්ව සිටින්නේ ලියොනල් මෙසී පරදවමින්.

ක්‍රීඩා ලෝලී ඡන්දයෙන් තීරණය වන මේ සම්මානය දිනා ගැනීමේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමග රොනාල්ඩෝගේ 2008 මෙහෙයුම මෙසීගේ වාර්තාගත 2012 තරග වාරය අභිබවා ගොස් තිබෙනවා.

මේ ඡන්දයේදී රොනාල්ඩෝ ඉහළම ස්ථානය ලබා ගෙන තිබෙන්නේ සියලු තරගාවලියන් හරහා ගෝල 42ක් ලබා ගනිමින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ප්‍රිමියර් ලීගය හා චැම්පියන්ස් ලීගය යන තරගාවලියන් දෙකේ ම ශූරතා දිනා ගැනීමට උපකාර කළ අමතක නොවන තරග වාරයකින්. මෙසී ඔහුගේ 2012 මෙහෙයුම සමග දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර රොනාල්ඩෝගේ 2017 තරග වාරය තෙවැනි ස්ථානයට පත්වුණා.

මෙහි අවසාන ශ්‍රේණිගත කිරීම්වල ආධිපත්‍යය පැවැත්වූ මේ දීර්ඝකාලීන ප්‍රතිවාදීන් දෙදෙනා ලැයිස්තුවේ පළමු ස්ථාන දහය ම බෙදා ගත්තා. රොනාල්ඩෝ 2008, 2017, 2016, 2014 සහ 2013 වසරවල ඔහුගේ මෙහෙයුම් සමග ස්ථාන පහක් හිමිකර ගත් අතර මෙසී ඔහුගේ 2012, 2023, 2015, 2011 සහ 2009 වසරවල තරග වාර සමග ඉතිරි ස්ථාන පහ අත්කර ගත්තා.

රොනාල්ඩෝගේ 2008 වික්‍රමය සහ මෙසීගේ ගෝල 91 වාර්තාව

රොනාල්ඩෝගේ පළමු ‘බැලන් ඩෝ’ ජයග්‍රාහී මෙහෙයුම ඔහුගේ ක්‍රීඩා දිවියේ එක් සුවිශේෂී තරග වාරයක් සලකුණු කරනවා. මේ පෘතුගාල ඉදිරි පෙළ ක්‍රීඩකයා ප්‍රිමියර් ලීගයේ පමණක් ගෝල 31ක් වාර්තා කරමින් ‘රන් සපත්තුව’ සම්මානය දිනා ගනිද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ලීග් කිරුළ සුරක්ෂිත කර ගත්තා.

යුනයිටඩ් කණ්ඩායමේ චැම්පියන්ස් ලීග් ජයග්‍රහණයේදී ද ඔහු ප්‍රධාන කාර්යයක් ඉටු කළේ මොස්කව් නුවර පැවති අවසාන තරගයේදී චෙල්සී පිලට එරෙහිව ගෝලයක් වාර්තා කරමින්. යුනයිටඩ් අවසානයේදී එම කිරුළ හිමිකර ගත්තේ පෙනල්ටි ප්‍රහාරය ජය ගනිමින්. ඒ දක්ෂතා රොනාල්ඩෝට ඔහුගේ පළමු ‘බැලන් ඩෝ’ සම්මානය 2008 වසරේදී දිනා දුන් අතර එය පසුව එම සම්මාන පහක් දක්වා වැඩි වන එකතුවක ආරම්භය බවට පත්වුණා. ඔහු ඉන්පසුව මේ සම්මානයේ 2013, 2014, 2016 හා 2017 ගෞරව දිනා ගැනීමට සමත් වුණා.

මෙසීගේ 2012 වසරේ මෙහෙයුම රොනාල්ඩෝගේ සම්මානලාභී තරග වාරයට එරෙහිව බලවත් තරගකාරිත්වයක් ඉසුලුවා. මේ බාසිලෝනා ඉදිරි පෙළ ක්‍රීඩකයා එම ක්‍රීඩා සමාජය හා රට වෙනුවෙන් ගෝල 91ක් කැලැන්ඩර වසර තුළ ලබා ගත්තේ පාපන්දුවේ එක් වඩාත්ම සිත්ගන්නා තනි ජයග්‍රහණයක් ලෙස රැඳී තිබෙන වාර්තාවක් පිහිටුවමින්. ‘බැලන් ඩෝ’ සම්මානය වාර්තාගත අයුරින් අට වතාවක් දිනා ගෙන තිබියදීත් ඔහුට B.O.A.T. ඡන්දයේ ලැබුණේ දෙවැනි ස්ථානය.

B.O.A.T. ශ්‍රේණිගත කිරීමේ ඉහළම 10 දෙනා

රොනාල්ඩෝ හා මෙසී මේ සම්මානයේ අවසන් ලැයිස්තුවේ සෑම ස්ථානයක් ම අත්කර ගත්තේ මේ සඳහා නම් කෙරුණු අනෙක් ලෙජන්ඩ්ස්ලා අට දෙනා ඉහළම ස්ථාන දහයෙන් පිටත තබමින්.

1- රොනාල්ඩෝ - 2008
2- මෙසී - 2012
3- රොනාල්ඩෝ - 2017
4- මෙසී - 2023
5- රොනාල්ඩෝ - 2016
6- රොනාල්ඩෝ - 2014
7- මෙසී - 2015
8- රොනාල්ඩෝ - 2013
9- මෙසී - 2011
10 - මෙසී - 2009

මොකක්ද මේ B.O.A.T. සම්මානය?

B.O.A.T. සම්මානයට මුල පිරීම සිදුවුණේ ‘බැලන් ඩෝ’ සම්මානයේ 70 වැනි සංවත්සරය සලකුණු කරමින් පසුගියදා පැවති උත්සවයේ කොටසක් වශයෙන්. ‘බැලන් ඩෝ’ සම්මානය අවම වශයෙන් දෙවතාවක් දිනා ගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ විශිෂ්ටතම ‘බැලන් ඩෝ’ ජයග්‍රාහී තරග වාරය තෝරා ගන්නා ලෙසට එයින් ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා කර තිබුණා.

මෙහි අවසාන කෙටි ලේඛනයට Johan Cruyff, Michel Platini, Marco van Basten, Franz Beckenbauer, Alfredo Di Stefano, Kevin Keegan, Karl-Heinz Rummenigge සහ Ronaldo Nazário යන ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටියා.

මෙහි විශිෂ්ටතාව වැදගත් වනවා. ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ ඡන්දය ලබා දුන්නේ තනි තරග වාර සඳහා යි. මුළු ක්‍රීඩා දිවියක් හරහා ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා තෝරා ගැනීමට නෙවෙයි. ඒ අනුව, රොනාල්ඩෝගේ ජයග්‍රහණයෙන් ඔහුගේ 2008 මෙහෙයුම මේ ඡන්ද විමසීමේ වඩාත්ම ජනප්‍රිය මනාපය බවට පත්වනවා මිස එය ඔහු සහ මෙසී අරබයා දීර්ඝ කාලයක් තිස්සේ පවතින එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කවුරුන් ද යන විවාදයට නිල වශයෙන් ලබා දෙන තීන්දුවක් වන්නේ නැහැ.

(සටහන | වර්නන් ගුණසේකර)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...