ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම මාධ්‍ය හමුවට ත්‍රිවිධ හමුදා නියෝජිතයින් ද සහභාගි වී සිටියහ.
එලෙස අත්අඩංගුවේ සිටින සහ ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරනු ලබන පුද්ගලයින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධවූ බවට දන්වමින් ඔවුන්ගේ රාජකාරී ස්ථාන වෙත පොලිසිය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කිරීමට නියමිතය.
එම පිරිස් වලට එරෙහිව ආයතනික මට්ටමින් විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස දැනුම් දෙන බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම මාධ්‍යය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.
මෙලෙස ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 78 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ හඳුනා ගැනීමේ කටයුතු වලදී එම පිරිස් අතර සිටින රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේය.
දැනට ලැබී ඇති වීඩියෝ පට අනුව ඉදිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනු ලබන බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසිය.
පසුගියදා ඇතිවූ මෙම තත්ත්වය පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවට අමතරව පොලිසියේ නිලධාරීන් 5500ක් යෙදවීමට සිදුවූ බවත් එමගින් දෛනික පොලිස් රාජකාරී වලට පාඩුවක් වන බවට මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.



