පූර්ව නඩු සාකච්ඡාවට වැටුණු වැටකඩොලු
වාණිජ ආරවුල් අනවශ්ය ප්රමාදයකින් තොරව කඩිනමින් විසඳීම සඳහා පිහිටුවා ඇති වාණිජ මහාධිකරණ බලතල සම්බන්ධයෙන් නීති ක්ෂේත්රයේ දැඩි අවධානයක් දිනාගත් තීන්දුවක් ප්රකාශයට පත් විය. පූර්ව නඩු විභාග අවස්ථාවකදී (Pre-trial stage) සාක්ෂි ප්රමාණවත් නොවන බව පවසමින් නඩුවක් විසි කර දැමීමට විනිසුරුවරයෙකුට නීතිමය හැකියාවක් නොමැති බව ශ්රේෂ්ඨාධිකරණය මෙහිදී තරයේ අවධාරණය කළේය.
මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ගිහාන් කුලතුංග යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙමින්, වාණිජ මහාධිකරණය මීට පෙර දුන් නියෝගය මුළුමනින්ම බලරහිත කළේය.
මූල්ය සීමාව මුල්කරගත් තාක්ෂණික තර්කය
'කිෂ් ඉන්ටර්නැෂනල්' (Kish International Pvt Ltd) සමාගම විසින් ගොනු කරන ලද මෙම නඩුවේදී, වාණිජ මහාධිකරණයේ නඩු පැවරීමට අවශ්ය අවම මූල්ය වටිනාකම සපුරාගැනීම සඳහා පැමිණිලිකරු තම හිමිකම් පෑම කෘතිමව ඉහළ නංවා ඇති බවට විත්ති පාර්ශ්වය මුලින් චෝදනා නඟා තිබිණි.
මුල් විත්තිවාචකයේ සඳහන් නොවූ මෙම කරුණ පූර්ව නඩු විභාග අවස්ථාවේදී අලුතින් කරළියට ගෙන එමින් විත්ති පාර්ශ්වය මූල්ය සීමාව පිළිබඳ ගැටලුව මතු කළ අතර, ඒ අනුව 2024 වසරේදී වාණිජ මහාධිකරණය තීරණය කළේ ප්රමාණවත් සාක්ෂි නොමැති බැවින් පැමිණිල්ල නිෂ්ප්රභ කරන බවයි. මෙරට වාණිජ නඩු විභාග පටිපාටියට ඍජුව බලපාන මෙම තීරණයට එරෙහිව අදාළ සමාගම වහාම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.
සාක්ෂි මෙහෙයවීම පූර්ව අවධියට අයිති කාර්යයක් නොවේ
පූර්ව නඩු සාකච්ඡාවක (Pre-trial conference) ප්රධාන අරමුණ වන්නේ නඩුවේ මුල් විෂය පථයෙන් බැහැරව අලුත් කරුණු පැටලවීම හෝ නඩුවේ පරාසය අනිසි ලෙස පළල් කිරීම නොවන බව විනිසුරු මහින්ද සමයවර්ධන තීන්දුව ප්රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.
නඩුවක් ගොනු කරන මොහොතේ මුල් පැමිණිල්ල මත අධිකරණ බලය නිසි ලෙස තහවුරු වී ඇත්නම්, ඉදිරි සාක්ෂි විභාගයේදී ඔප්පු වන මුදල මුලින් ඉල්ලූ ප්රමාණයට වඩා අඩු වුවද එයින් අධිකරණයේ බලධූරය අහෝසි නොවන බව ශ්රේෂ්ඨාධිකරණය පැහැදිලි කළේය. සාක්ෂි මෙහෙයවීම හෝ ඒවා සවිස්තරව ඇගයීම විභාග අවස්ථාවට අදාළ වන අතර, පූර්ව සාකච්ඡා වටයකදී සාක්ෂි ඔප්පු කරන ලෙස පැමිණිලිකරුට බලකිරීමට විනිසුරුවරයාට බලයක් නොමැත.
නඩු ගාස්තු ගෙවීමේ නියෝගය සහ විභාගය කඩිනම් කිරීම
වාණිජ මහාධිකරණයේ නිෂ්ප්රභ කිරීමේ නියෝගය ඉවත දැමූ ශ්රේෂ්ඨාධිකරණය, නීතිමය ක්රියාවලිය ප්රමාද කිරීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගමට නඩු ගාස්තු ගෙවන ලෙස විත්තිකාර පාර්ශ්වයට නියෝග කළේය.
අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ප්රමාදයකින් තොරව වහාම ආරම්භ කර, කෙටි කලක් තුළ නඩු විභාගය අවසන් කරන ලෙසට වාණිජ මහාධිකරණය වෙත වැඩිදුරටත් නියෝග කෙරිණි. පැමිණිලිකාර 'කිෂ් ඉන්ටර්නැෂනල්' සමාගම වෙනුවෙන් නීතිඥ ගාමින්ද කරුණාසේනගේ උපදෙස් මත ජ්යෙෂ්ඨ නීතිඥ නිෂාන් ප්රේමතිරත්න සමඟ නීතිඥ විකුම් ජයසිංහ සහ මනිත් දසනායක පෙනී සිටියහ.



