2022 වසරේ පැවති 'අරගලය' සමයේ හානි වූ අනවසර ඉදිකිරීමකට රුපියල් අසූ අට ලක්ෂ පනස් දහසක (8,850,000) වන්දි මුදලක් අක්‍රමික ලෙස ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුවේ පළමු විත්තිකරු වන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, දෙවන විත්තිකරු වන හානි පූර්ණ කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් මෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ කීර්ති බී. කොටගම සහ තෙවන විත්තිකාරිය වන එම කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන් කුමාරි යන මහත්ම මහත්මීහු විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් වෙනුවෙන්, හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර මෙම වන්දි මුදල ලබාගෙන ඇති බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
නඩු විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ 3 වන සාක්ෂිකරු අද දින අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් අතර, ඔහුට ඉදිරි නඩු දිනයේදීත් පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය. මීට අමතරව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට ලබන නොවැම්බර් 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටද පියවර ගැනිණි.
එසේම, විත්ති පාර්ශ්වය විසින් ඉල්ලා සිටින ලද නඩුවට අදාළ අත්‍යවශ්‍ය ලේඛන කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව ඔවුන් වෙත කඩිනමින් ලබාදෙන ලෙස විනිසුරුවරයා මෙහිදී පැමිණිල්ලට වැඩිදුරටත් නියෝග කළේය.



