නිලධාරී අතපසුවීම සහ නීතිමය පැටලැවිල්ල
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාර ගත කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
තම ධුර කාලය තුළ උන්වහන්සේට ජනාධිපති සමාව පිරිනැමීමේදී ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතින් සිදුවූ බරපතළ ක්රියාපටිපාටිමය අතපසුවීමක් මෙම තත්ත්වයට මුල් වූ බව හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දෙයි.
අමාත්යාංශ අනුමැතිය මඟහැරුණු හැටි
හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ විභාග වූ අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105 වැනි ව්යවස්ථාව යටතේ වූ අධිකරණයට අපහාස කිරීම (නඩු අංක B 7417/10 සහ 40042) යන නඩු දෙකට අදාළව මෙම සමාව ප්රදානය කිරීම සිදුවිය.
එම නඩු දෙකට අදාළ ලිපිගොනු අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශය වෙත යොමුකර පූර්ව අනුමැතිය ලබාගත යුතු බවට ජනාධිපති කාර්යාලයේ නීති අංශයේ අතිරේක ජ්යෙෂ්ඨ ලේකම්වරිය තමන් දැනුවත් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරයි.
එහෙත් අදාළ ලිපිගොනු අමාත්යාංශයට යොමු නොකර, කිසිදු අනුමැතියකින් තොරව තම අත්සන පමණක් ලබාගැනීමට නිලධාරීන් කටයුතු කර තිබීම තමන් නොමග යැවීමක් මෙන්ම තම පාර්ශ්වයෙන් සිදුවූ අතපසුවීමක් බවද හෙතෙම පිළිගනී.
අධිකරණ තීන්දුවට පූර්ණ ගෞරවය
ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු මහතාගේ මැදිහත්වීමෙන් සන්ධ්යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකට අනුව මෙම නීතිමය තීන්දුව ප්රකාශයට පත්විය.
අධිකරණය හමුවට ඉදිරිපත් වූ ලේඛනවල පැවති තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් අධිකරණය ගත් නිගමනය සම්පූර්ණයෙන්ම නිවැරදි බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, තමන් එම තීන්දුවට හිස නමන බව අවධාරණය කරයි.
තම කාර්ය මණ්ඩලයේ පැවති පරිපාලනමය දුර්වලතාවක් හේතුවෙන් ඥානසාර හිමියන්ට යළි සිරගත වීමට සිදුවීම පිළිබඳව තමන් දැඩි කම්පාවට පත්වන බව සඳහන් කරන මෛත්රීපාල සිරිසේන මහතා, එකී අත්වැරැද්ද වෙනුවෙන් සමස්ත මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියි.




