ලෑලි ගෙදර 'Bharat Corner' විවෘත කරමින් දකුණු ලක පාසල් පද්ධතියේ ඩිජිටල්, සංගීත හා නර්තන කලා කුසලතා නැංවීමට ඉන්දීය කොන්සුල් ජනරාල්ගෙන් මානුෂීය මෙහෙවරක්
ගමේ පාරක් අයිනේ තිබුණු පුංචි ලෑලි ගෙදරක සාලයෙන් ඇසුණු පුංචි එවුන්ගේ හිනා හඬත්, පොත් පිටු පෙරළෙන ශබ්දයත් අද වන විට මුළු මහත් ගමටම මහඟු ආශීර්වාදයක් වී හමාරය. අහංගම, මැලියගොඩ ප්‍රදේශයේ පිහිටි මේ අපූරු ස්ථානය අන් කවරක්වත් නොව "ලෑලි ගෙදර පුස්තකාලයයි". ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක වන රම්‍යා බින්දුහේවා මහත්මිය විසින් තමන් ජීවත් වූ ලෑලි ගෙදර සාලයෙන් ආරම්භ කළ මෙම පුංචි පුස්තකාලය, අද වන විට දරුවන් සියයකට අධික සංඛ්‍යාවකට අකුරු ශාස්ත්‍රය බෙදාදෙන, ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතා ඔප්නංවන අතිශය සුන්දර නවාතැනක් බවට පත්ව ඇත.

මෙහි පැමිණෙන පුංචි පැටවුන්ට පොත්පත් කියවීමට පමණක් නොව, කැරම් ගැසීමට, දාම් ඇදීමට, චිත්‍ර ඇඳීමට, කවි ලියන්නට මෙන්ම වූල් බෑග්, වූල් ඇඳුම් සහ පාපිසි ගොතන්නට පවා ඉඩහසර සැලසේ. අහංගම ග්‍රාමීය දූ දරුවන්ට තම විෂය සමගාමී හා බාහිර දැනුම ලබාගැනීමට මෙය මහා සම්පතකි. එදිනෙදා ජීවන තරගයේ නිරත වන අහිංසක දෙමාපියන්ට සිය දරුවන් නගරයේ පුස්තකාල වෙත කැඳවාගෙන යාමට වේලාවක් නොමැති, දරුවන් තනිපංගලමේ යැවීමටද නොහැකි මෙවන් යුගයක, ගමේම ඉදිවූ මෙම මධ්‍යස්ථානය දෙමාපියන්ට මෙන්ම ආච්චිලා සීයලාටද මහත් අස්වැසිල්ලක් වී තිබේ.
අවුරුදු හතරකට ආසන්න කාලයක් ලෑලි ගෙදර සාලයේ පැවැති මෙම පුස්තකාලය මෑතකදී අලුත් මුහුණුවරක් ගනිමින් "ස්මාර්ට් හෝම් ලයිබ්‍රරි" (Smart Home Library) බවට පත් විය. ඒ සතුටුදායක සංක්‍රමණය අතරතුර ලෑලි අතරින් ආ වේයන් විසින් පොත් සියයකට වඩා විනාශ කර දමා තිබුණද, ගමේ පුංචි දරුවන් එකතු වී ඉතිරි පොත් දහසකට ආසන්න ප්‍රමාණය තෝරා බේරාගෙන අලුත් රාක්කවල අසුරන්නට තරම් හිත් හයිය කරගත්හ. තමන්ගේ උපන්දිනට පවා පුස්තකාලයට අලුත් පොතක් අරන් එන මේ පුංචි එවුන්ගේ සමගියත් කැපවීමත් වේයන්ට විනාශ කිරීමට නොහැකි විය.

එසේ හයිය හිත් ඇති පුංචි පැටවුන් සොයා අගෝස්තු 06 වන දින අමුත්තන් පිරිසක් පැමිණියහ. ඒ, හම්බන්තොට ඉන්දීය කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා ප්‍රමුඛ කොන්සුල් ජනරාල් කාර්යාලයේ නිලධාරී මණ්ඩලයයි. "ලෑලි ගෙදර පුස්තකාලයේ" දරුවන්ගේ අනාගතය අලෝකමත් කරනු පිණිස අලුත්ම අලුත් පොත් තොගයක් සහ ඒ පොත් අසුරන්නට අලුත් රාක්කයක්ද රැගෙන ආ ඉන්දීය කොන්සුල් ජනරාල්වරයා, එහිදී "Bharat Corner" කියවීම් මධ්‍යස්ථානයද විවෘත කරමින් දරුවන්ට තෑගි බෝග පිරිනමන්නට කටයුතු කළේය. දකුණේ දූ දරුවන්ගේ නැණස පාදන්නටත්, ඉන්දියාවේ පොහොසත් සංස්කෘතික උරුමය හා දැනුම බෙදාහදා ගනිමින් දෙරට අතර සහෝදරත්වයේ හදවත් යා කරන්නටත් මෙමගින් විශාල පිටුවහලක් ලැබිණි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ සියවස් ගණනාවක සිට පැවත එන නොබිඳෙන ආගමික, සංස්කෘතික සහ සාමාජීය සබඳතාවකි. අසල්වැසියාට පළමු තැන දීමේ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය අර්ථවත් කරමින්, දකුණු ලක දූ දරුවන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික නිපුණතාව ඉහළ නැංවීම උදෙසා හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් කාර්යාලය සහ කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා ඉටුකරන මානුෂීය මෙහෙවර අතිශයින් පැසසුම්කටයුතුය.

ලෑලි ගෙදර පුස්තකාලයට ලබාදුන් සහයෝගයට අමතරව, දකුණු ලක පාසල් පද්ධතිය නැංවීමට ඉන්දීය කොන්සුල් කාර්යාලය නොමද අතහිත ලබා දී ඇත.
ඒ අතර මාතර මහාමායා බාලිකා විද්‍යාලය සඳහා අගෝස්තු 05 වන දින සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ ඩිජිටල් ඉගෙනුම් අවස්ථා පුළුල් කරමින් අත්‍යාවශ්‍ය බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Multimedia Projector) පිරිනමන ලදී.එමෙන්ම එන්සල්වත්ත දමිළ විද්‍යාලයේ සිසුන්ගේ කලාත්මක හා සංස්කෘතික කුසලතා පෝෂණය කිරීම උදෙසා අවශ්‍ය සංගීත භාණ්ඩ කට්ටලයක් ලබාදීමට කටයුතු කෙරිණි. අගෝස්තු 04 වන දින හම්බන්තොට විද්‍යාලයේ පාසල් නර්තන කණ්ඩායම වෙත අත්‍යවශ්‍ය නර්තන ඇඳුම් කට්ටල පිරිනමමින් සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා ලදී.

ඉන්දීය රජය ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සපයන යටිතල පහසුකම්, ශිෂ්‍යත්ව අවස්ථා, පොත්පත් සහ තාක්ෂණික මෙවලම් අපගේ අනාගත පරපුරේ නැණ පහන් දල්වන මහඟු ආලෝකයකි. අහංගම ලෑලි ගෙදර පුංචි පුස්තකාලයේ සිට දකුණු ලක පුරා පැතිර යන මෙම සමීප සහෝදරත්වය හා මානුෂීය මෙහෙවර, දෙරට අතර මිත්‍රත්වයේ හදවත් තවදුරටත් තදින් යා කිරීමට සමත්ව තිබේ.

| රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
Rahul Samantha Hettiarachchi
'යුගල් කිෂෝර් ශුක්ලා’ ජාත්‍යන්තර සම්මානලාභී ගවේෂණාත්මක මාධ්‍යවේදී
rahulnews.srilanka@gmail.com




