ශ්‍රී ලංකා දේශපාලනයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ නඩුකරය, වසර හතක ඇවෑමෙන් යළි අධිකරණමය වශයෙන් සක්‍රීය වී තිබේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-Trial Conference) ලබන ජනවාරි 28 වැනිදා පැවැත්වීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, පී.ඒ.ටී. බණ්ඩාර සහ නුවන් ධම්මික දිසානායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය කැඳවිණි.
මොකක්ද මේ පූර්ව නඩු විභාගය?
දීර්ඝ කාලයක් විභාග වන සංකීර්ණ නඩුවක කාලය ඉතිරි කරගැනීම සඳහා අධිකරණය භාවිත කරන ක්‍රමවේදය මෙයයි.
මෙහිදී දෙපාර්ශ්වය එකඟ වන කරුණු සහ විවාදයට ලක්වන කරුණු මොනවාදැයි නඩු විභාගය ආරම්භ වීමට පෙරම පැහැදිලිව වෙන් කරගැනීම සිදු කෙරේ. ඒ හරහා ඉදිරි දිනවලදී සාක්ෂි විභාගය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම වැළකෙයි.
ලේඛන නොලැබීමේ ගැටලුවක් සහ විත්තිකරුවන්
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්‍රි ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නඩුව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැදගත් ලේඛන කිහිපයක් තමන් වෙත තවමත් ලැබී නොමැති බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් පෙන්වා දීමත් සමග, මීළඟ නඩු දිනයට පෙර අදාළ ලේඛන කඩිනමින් විත්ති පාර්ශ්වයට ලබාදෙන ලෙස විනිසුරු මඩුල්ල නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළේය. දෙවන විත්තිකරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ දේශන ඉදිරියේදී සලකා බැලෙනු ඇත.
ප්‍රධාන චූදිතයන් දෙදෙනා රටේ නෑ
නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙන්ම හයවන විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචිහේවා මෙරටින් බැහැරව සිටින බැවින් ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඔවුන් නොමැතිවම (In absentia) නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණය මීට පෙර ගත් තීරණය අනුව නඩු කටයුතු ඉදිරියට ගලා යයි. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන අය ද සෙසු චූදිතයෝ වෙති.
රුපියල් මිලියන 688ක මහජන ධනය අහිමි වීම
රජයකට සංවර්ධන කටයුතු හෝ වියදම් පියවා ගැනීමට මුදල් අවශ්‍ය වූ විට මහ බැංකුව හරහා පොලියක් ගෙවීමේ පොරොන්දුව මත භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කරයි.
2015 පෙබරවාරි 27 වැනිදා පැවති එවැනි වෙන්දේසියකදී, අසාමාන්‍ය ලෙස ඉහළ පොලී අනුපාතයකට බැඳුම්කර නිකුත් කිරීම හරහා රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදුකළ බව නීතිපතිවරයා චෝදනා නගයි. ඒ අනුව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති අධිචෝදනා 23ක් මත මෙම ඓතිහාසික නඩු විභාගය ඉදිරියට පැවැත්වීමට නියමිතය.



