තීරණාත්මක අයවැයක පෙරනිමිති
වාර්ෂික අයවැය ලේඛනයක් යනු හුදෙක් ඉලක්කම් ලේඛනයක් නොව රටක ආර්ථික දිශානතිය තීන්දු කරන මාලිමාවයි. ඉදිරි 2027 වසර සඳහා වන අයවැය සුවිශේෂී වන්නේ, ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනෙන් පසුව එළැඹෙන, මැතිවරණ පොරොන්දු පීඩනයෙන් තොර එකම අයවැය එය වීම නිසාවෙනි.
මෙම පසුබිම තුළ ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන ඇඩ්වකාටා (Advocata Institute), මුදල් අමාත්යාංශය වෙත ඉදිරිපත් කළ ප්රධාන ප්රතිසංස්කරණ යෝජනා පහ මෙරට බදු ගෙවන්නාගේ මෙන්ම සාමාන්ය පාරිභෝගිකයාගේ අවධානයට ලක්විය යුත්තකි.
1. බදු ආරවුල් සහ ‘බදු දුක්ගන්නාරාළ’ (Tax Ombudsman)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ බදු ගෙවන්නන් අතර විසඳාගත නොහැකිව සිරවී ඇති මුදල රුපියල් ට්රිලියන 1.68 ඉක්මවයි. එකඟ නොවූ මෙම මුදල් වෙනුවෙන් අය කෙරෙන පොලිය පමණක් රුපියල් බිලියන 81 සිට බිලියන 278ක් දක්වා පිම්මක් පැන තිබේ.
සාමාන්ය ව්යාපාරිකයෙකුට හෝ ආයෝජකයෙකුට තමන් මුහුණදෙන අසාධාරණයක් වෙනුවෙන් කරුණු කීමට ස්වාධීන නිලධාරියෙකු නොමැති වීම විශාල අඩුවකි.
පාකිස්ථානය වැනි රටවල සාර්ථකව ක්රියාත්මක වන පරිදි, දින 60ක් ඇතුළත ගැටලු විභාග කර තීන්දු ලබාදෙන බදු ඔම්බුඩ්ස්මන්වරයෙකු (Tax Ombudsman) පත්කිරීමට වසර ගණනාවක් තිස්සේ දුන් පොරොන්දුව මෙවරවත් ක්රියාවට නැංවිය යුතුය.
2. වරාය නගරයේ බදු සහන සහ සමබිම (Level Playing Field)
කොළඹ වරාය නගරය (Port City) ආර්ථික කලාපයක් ලෙස ආයෝජන ආකර්ෂණය කරගත යුත්තේ ස්ථාවර නීති පද්ධතියක් සහ පහසුකම් මඟිනි. සුපිරි ව්යාපෘති සඳහා ලබාදෙන වසර 25ක දීර්ඝ බදු නිදහස් කිරීම් ක්රමයෙන් අවසන් කළ යුතු බව ඇඩ්වකාටා පෙන්වා දෙයි.
එක් පාර්ශ්වයකට පමණක් බදු නිදහස ලැබෙන විට දේශීය ව්යාපාරිකයාට හිමිවන්නේ අවාසිදායක තත්ත්වයකි. සාධාරණ ආර්ථිකයක පදනම සැමට එක හා සමාන තරගකාරී පිටියක් නිර්මාණය වීමයි.
3. ලොතරැයි ඒකාධිකාරය සහ සූදු නියාමනය
ලොතරැයිපත් මිලදී ගන්නේ මෙරට අඩු ආදායම්ලාභී පිරිසයි. එය දුප්පත් මිනිසා මත පටවන වක්ර බද්දක් බඳු බැවින්, රජය ලොතරැයිය ආදායම් එකතු කිරීමේ මෙවලමක් කරගැනීමෙන් බැහැර විය යුතුය.
දැනට නිසි නීතිමය රාමුවක් නොමැති ඔන්ලයින් සූදු, කැසිනෝ මෙන්ම ලොතරැයි ක්ෂේත්රයද විධිමත් ක්රීඩා සහ සූදු නියාමන අධිකාරියක් (Gaming Regulatory Authority) යටතට පත්කළ යුතුය. නිසි නියාමනයක් ස්ථාපිත කිරීමෙන් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වන අතර රජයට හිමිවිය යුතු ඩොලර් ආදායමද නිවැරදිව උපයාගත හැකිය.
4. බිත්තරයේ සහ මස් පිඟානේ බදු බර
ශ්රී ලංකාවේ පවුලකට දෛනික ප්රෝටීන් අවශ්යතාව සපුරා ගැනීම දැඩි මූල්ය බරක් වී තිබේ. සත්ව ආහාර සඳහා භාවිත කරන බඩඉරිඟු මත පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) මේ සඳහා සෘජුව බලපා ඇත.
පාරිභෝගිකයෙකු මිලදී ගන්නා කුකුල් මස් කිලෝවක මිලෙන් ග්රෑම් 250ක පමණ අගයක් නියෝජනය කරන්නේ බඩඉරිඟු මත ඇති අධික බද්දයි.
මෙම බද්ද ඉවත් කර අවශ්ය නම් වැට් (VAT) පද්ධතියට එක් කිරීමෙන් නිෂ්පාදකයාට බදු ප්රතිලාභ හිමිවේ. බඩඉරිඟු ගොවියාගේ ආරක්ෂාව වෙනුවෙන් සෘජු මුදල් ආධාර (Cash transfers) ලබාදීමෙන් සාමාන්ය ජනතාවට සහනදායී මිලට ප්රෝටීන් ලබාගැනීමේ මඟ පෑදේ.
5. ගොවිබිම් නිදහස සහ කඩිනම් ‘බිම් සවිය’
තෙත් කලාපයේ කුඹුරු ඉඩම්වල වී පමණක් වගා කළ යුතුය යන පැරණි නීති ඉවත් කර, ඉහළ ආදායම් ලැබෙන ඕනෑම බෝගයක් වගා කිරීමට ගොවියාට නිදහස දිය යුතුය.
ඉඩමක සින්නක්කර අයිතිය තහවුරු කරන ‘බිම් සවිය’ වැඩසටහන දැනට ක්රියාත්මක වන මන්දගාමී වේගය අනුව මුළු රටම ආවරණය වීමට තවත් වසර සියයක් ගතවනු ඇත. ඩිජිටල් ඔප්පු ක්රමයක් මඟින් වසර පහකින් ඉඩම් අයිතිය ජනතාවට ලබාදුනහොත්, එම ඉඩම් ඇපයට තබා බැංකු ණය ලබාගැනීමටත් නව ව්යාපාර ඇරඹීමටත් පුරවැසියාට අවස්ථාව උදාවේ.
මීට අමතරව පොහොර සමාගම්වලට දෙන සහනාධාරය වෙනුවට සෘජුවම ගොවියාගේ ගිණුමට මුදල් බැර කිරීම, නව කෘෂි රක්ෂණ ක්රමවේද සහ ඩ්රෝන තාක්ෂණය භාවිතයට සුදුසු ප්රතිපත්ති සම්පාදනය කෘෂි අංශයේ පිරිවැය අවම කිරීමට ඉවහල් වනු ඇත.
වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්ර සබැඳි :
Advocata Plus: මෙන්න 2027 අයවැයට ඇඩ්වකාටා යෝජනා ! | Dhananath Fernando



