ගෝලීය පසුබෑම සහ තාක්ෂණික විසඳුම්
ලෝකයේ රටවල් සැලසුම් කළ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ වේගය සැලකිය යුතු ලෙස අඩාල වී තිබේ. කාලගුණ විපර්යාස හමුවේ මතුවන සෞඛ්ය අර්බුද පාලනයට සම්ප්රදායික ක්රමවේද ප්රමාණවත් නොවන බව විදග්ධ මතයයි.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන පස්වන ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුව (MC-5) අමතමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ, කෘත්රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් තාක්ෂණය සෞඛ්ය ක්ෂේත්රයට ඒකාබද්ධ කිරීම මේ මොහොතේ මඟහැරිය නොහැකි අවශ්යතාවක් බවයි.

ආපදා අනතුරු ඇඟවීම් සහ රෝග නිරීක්ෂණය
දේශගුණික විපත් නිසා හටගන්නා වසංගත හා රෝග ව්යාප්තිය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලබාගැනීමට දත්ත විශ්ලේෂණය උපකාරී වේ. එමඟින් රෝහල් පද්ධතියේ තදබදය අවම කර ගැනීමටත්, හදිසි ආපදා අවස්ථාවලදී රෝගීන්ට ක්ෂණික ප්රතිකාර සැලසීමටත් මගපෑදේ.
නවීන තාක්ෂණික විසඳුම් යොදා ගැනීමෙන් රෝගීන්ගේ ප්රතිකාර ප්රමාදය අවම වන අතර මහජන සෞඛ්ය සේවා වඩාත් ජනතාවාදී හා කාර්යක්ෂම කළ හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.
සංවර්ධනය වන රටවලට කලාපීය පවුරක්
ශ්රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් මුහුණ දෙන මූල්ය හා තාක්ෂණික සීමාවන් ජයගැනීමට කලාපීය සහයෝගීතාව අත්යවශ්ය වේ. මෙහෙයුම් මෙවලම් හුවමාරුව මෙන්ම එක් එක් රටවල දේශීය අවශ්යතාවලට ගැළපෙන පරිදි තාක්ෂණය සකස් කරගත යුතු බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සංවිධානය කළ මෙම සමුළුවේ උප සභාපති ධුරයකට ද වෛද්ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්වීම කැපී පෙනෙන සිදුවීමකි. සෞඛ්ය අමාත්යාංශ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුළත් විය.



