අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මුහුණ දෙන බව කියන "ම්ලේච්ඡ සහ අමානුෂික වධහිංසා" සම්බන්ධයෙන් වහාම ස්වාධීන අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ විසින් අද (06) පොලිස්පතිවරයා (IGP) වෙත අතිශය හදිසි ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සුරේෂ් සලේ අද උදෑසන සිට ආරම්භ කර ඇති ‘මාරාන්තික උපවාසය’ (Fast Unto Death) සමඟින් මෙම පැමිණිල්ල නීතිමය හා දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුමක් මතු කර ඇත.
අද දින පැවැති පවුලේ සාමාජිකයන්ගේ හමුවීමේදී සලේ දැඩි ලෙස ශාරීරිකව හා මානසිකව බිඳවැටී, ඇස් ගිලී, තොල් වියළී අතිශය අසරණ තත්ත්වයකින් සිටි බව පැමිණිල්ලේ දැක්වේ.
අඩි 6x4 කළු කුටියක, ඇඳක් හෝ පිඟානක් නොමැතිව, පත්තර කොළයක දැමූ පිළුණු රාබු සහ බත් හැන්ද බිම දිගා වී බල්ලෙකු සේ කෑමට සිදුවීම නිසා සලේ මෙම තීරණයට එළඹ ඇති බව ඇය පවසයි.
රාත්‍රී 10න් පසු වැසිකිළි පහසුකම් පවා අහිමි කර ඇති බවත්, මීට පෙර රැඳවියන් ඉදිරිපිට සලේ ව නිරුවත් කර (Strip Search) අනිසි ලෙස ශරීරය ස්පර්ශ කර ඇති බවත් එහි බරපතළ ලෙස චෝදනා කර තිබේ.
මෙම ම්ලේච්ඡ ක්‍රියාවන් සනාථ කිරීම සඳහා සිරමැදිරියේ සිටි අනෙකුත් රැඳවියන්ගෙන් (Cell mates) වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසත්, CID පරිශ්‍රයේ ඇති CCTV කැමරා 8ක දර්ශන විනාශ වීමට නොදී වහාම සුරක්ෂිත කරන ලෙසත් මනෝරි සලේ ඉල්ලා සිටියි.
දින 100කට අධික කාලයක් රඳවා සිටියත්, අවසන් සති තුන තුළ කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු කර නොමැති බැවින් මෙම රැඳවුම් නියෝගයේ නීත්‍යානුකූලභාවය පිළිබඳවද ඇය ප්‍රශ්න කරයි.
ඉකුත් මාර්තු 7 වැනිදා කළ ලිඛිත පැමිණිල්ලට පොලිස්පති කාර්යාලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. එමෙන්ම ඊයේ (05) මානව හිමිකම් කොමිසම කැඳවූ විභාගයද CIDය විසින් පැහැර හැර තිබේ. රාජ්‍ය යාන්ත්‍රණයේ මෙම අත්තනෝමතික හැසිරීම් මැද, හිටපු බුද්ධි ප්‍රධානියාගේ ජීවිතය අනතුරේ වැටී ඇති බව පවසන මෙම පැමිණිල්ල, ලබන 10 වැනිදා කොටුව අධිකරණය දීමට නියමිත තීන්දුව කෙරෙහිද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇත.






